සාදරයෙන් පිළිගනිමු!!

Thambu's foothold in blogsphere

Thursday, September 22, 2011

නලින් ද සිල්වාගේ සහ තාඹුගේ ලෝකය..

  




 


(තරමක දිග ලිපියක් බව කරුණාවෙන් සලකන්න )    
 
          ඊයේ පොත් ප්‍රදර්ශනයට ගියෙමි.. තවත් බොහෝ පොත් සමග නලින් ද සිල්වාගේ "මගේ ලෝකය" මිලදී ගතිමි.. එය උණු කැවුම් මෙන් විකිණේ.. (ඒ ගැන මට සතුටු ය ).. එය කියවා හෝ නොකියවා "බටහිර විද්‍යාව පුස්සක්", "බටහිර විද්‍යාව දැන් බොරු වී ඇත", යනුවෙන් තර්ක කරන මිතුරන් සහ මිතුරන් නොවන බොහෝ දෙනෙකු විසින් මෙම පොත කියවන ලෙස මට බොහෝ ආරාධනා කළහ.. එසේම නලින් ද සිල්වාගේ මතවාදයන්ට මෙතෙක් යම්කිසි ප්‍රමාණවත් පිළිතුරක් ලබා දී ඇති කිහිප දෙනා අතර මගේ පිළිගැනීම ලබන්නෙකි "සෙකියුලර් ශ්‍රී ලංකා" කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකු වන "රිටිගල ජයසේන" මහතා..(ඉදිරියට සෙකියුලර්වාදය සහ මෙම කණ්ඩායම ගැන ද ලියන්නට බලාපොරොත්තු වෙමි )..

          රිටිගලගේ "නලින් ද සිල්වා හදුනා ගැනීම" නැමති ලිපිය (http://www.secularsrilanka.com/discussions/ritigala-jayasena/waiting-for-the-apocalypse) නලින් ද සිල්වා පිළිබද අඩුම තරමේ ආසන්න ලෙස හෝ පූර්ණව විග්‍රහ කරන මා කියැවූ එකම ලිපිය බව මෙහිදී කිව යුතුය.. කෙසේ වුව ද නලින් ද සිල්වාගේ මුල් ප්‍රකාශන නොකියවා එම ලිපිය බැලුවහොත් ඒ පිළිබදව ලැබිය හැකි අවබෝධය අසම්පූර්ණ බව වැටහිණි.. විශේෂයෙන්ම උසස් පෙළින් ඔබ්බට භෞතික විද්‍යාව ගැන විධිමත් හැදාරීමක් මා කර නැත.. කෝපන්හේගන් සම්මුතිය, ඇස්පෙක්ට්ගේ පර්යේෂන ආදිය මා දැන ගත්තේ අන්තර්ජාලයේ ඇති විවිධ ලිපි සහ විකිපීඩියා සටහන් මගිනි.. එහෙත් නලින් ද සිල්වාගේ "මගේ ලෝකය" කියවන විට එම සියල්ල කාල රාමුවක් අනුව පෙළ ගැසී එයි..
 
          මගේ ලෝකය කෘතියෙන් (ඔහු පසුව කල සංශේධන හැරෙන්නට ) එළි වන්නේ ඔහුගේ 1986 වන විට පැවති මතවාදය බව සිතමි.. එය නලින් පවා නොදැන බොහෝ වෙනස්කම් වලට ලක්ව ඇති බව පසු මුද්‍රණ වලට ඔහු ලියූ පෙරවදන වලින් තේරෙයි.. කෙසේ වෙතත් මෙහිදී මගේ අවධානය මුල් කෘතියට පමනක් යොමු කරමි..

          මෙහි නලින් ඉදිරිපත් කර ඇති අදහස් සැකෙවින් පහත පරිදි වේ.. (මෙය පොතේ පදානුගත උපුටා දැක්වීමක් නොවේ.. මගේ වචන වලින් පැහැදිළි කිරීමකි )

          "සත්ත්වයෙකු වන නලින් ඔහුගේ සංවේදී ඉන්ද්‍රියයන් වලින් බාහිර ලෝකය ගැන නොයෙක් සංවේදනයන් ලබා ගනියි.. ඒවා කෙරෙහි මනස යොමු කිරීමෙන් එම තොරතුරු සංජානනය කරයි.. එම තොරතුරු පැහැදිළි කිරීම සදහා සංකල්ප/ප්‍රවාද ගොඩනගා ගනියි.. එබැවින් එම සංකල්ප, ප්‍රවාද ආදිය නලින්ගේ සංවේදී ඉන්ද්‍රියයන්ට, මනසට, සංස්කෘතියට සහ ඒ ඇසුරෙන් කරන සංජානනයට සාපේක්ෂ ය.. මෙහි විලෝමය ද සත්‍ය වේ.. එනම් නලින්ගේ සංජානනය ද ඔහුගේ සංකල්ප, ප්‍රවාද මත රදා පවතියි..

          "ලෝකයේ බොහෝ ක්‍රියාවලි වෙයි.. මේවා ක්‍රියාවලි කොපමණ ගණනක්දැයි අදාළ නැත.. මන්ද යත් ඒවා ඉදි ආප්පයක් මෙන් එකට බැදී ඇත.. සත්ත්වයා තම තේරුම් ගැනීමේ පහසුවට එය තමන්ට සාපේක්ෂව කොටස් වලට කඩා ගනියි.. නිදසුනක් ලෙස "පොතක්" යනු එබදු එක කොටසකි/නොහොත් ක්‍රියාවලියකි.. එහෙත් පොත "පොතක්" නොවේ.. අප "පොත" යනුවෙන් කියන්නේ එම ක්‍රියාවලිය හැදින්වීම සදහා අප විසින් ඇති කරගත් සංකල්පයකි.. එනම් පොතට "පොත" යයි කියන නිරීක්ෂකයා නොමැතිව පොත "පොතක්" නොවේ.. නොහොත් "පොතක්" නැත.. "පොත" යනු නිරීක්ෂකයාගේ මනසේ ඇති එක සංකල්පයකි.. එය රදා පවත්හින්නේ ඔහුගේ මනසේ ඊට පෙර පැවති සංකල්ප, ඔහු ලද සංජානනයන්, ඔහුගේ මනසේ ස්වභාවය සහ සංස්කෘතිය අනුව ය.. ක්‍රි.පූ 4000 ඊජිප්තුකාරයෙකු එම "පොත" දුටුවාට ඔහුට එය "පොතක්" නොවේ.. කෙසේ වුව ද "නිරීක්ෂකයා" "නිරීක්ෂකයාගේ මනස" "නිරීක්ෂකයාගේ සංස්කෘතිය" යනාදිය ද එබදු සංකල්ප ම වේ.. "නිරීක්ෂකයාගේ" "මනසේ" "ඇති" සියළු "සංකල්ප" වල එකතුව "නිරීක්ෂකයාගේ ලෝකයයි".. නලින් ද සිල්වාගේ "මගේ ලෝකය" තාඹුගේ "මගේ ලෝකය" නොවේ.. ("නලින්ගේ ලෝකය" යන්න "නලින් විසින් ලෝකයට දෙන දැනුම" යනුවෙන් ද විස්තර කර ඇත )

          "කෙසේ වුව ද සත්ත්වයාගේ මමත්වය/ අහංකාරය සත්ත්වයා පොළඹවන්නේ මෙය අවබෝධ කර ගැනීමට නොවේ.. මමත්වයෙන් යුතු සත්ත්වයා "ලෝකය" යනු තමුන්ගේම සංකල්ප වල ඓඛ්‍යය බව නොදකියි.. ඔහු ඒ වෙනුවට දකින්නේ එම ලෝකය තමන්ගෙන් බාහිරව ඇති දෙයක් ලෙස ය.. එනම් ලෝකය යනු "සංකල්ප" බව නොදත් සත්ත්වයා, "බාහිර ලෝකය" තුළ ඇත්තෙන්ම එම සංකල්ප පවතින බව විශ්වාස කරයි.. තමන්ගෙන් ස්වායත්තව පවතින යථාර්ථයක් හෙවත් "වාස්තවික යතාර්ථයක්" පිළිඹද හැගීම ඇති වන්නේ මෙසේ ය..

          "එසේම සියළු ක්‍රියාවලි අනිත්‍ය වේ.. එබැවින් එක මොහොතක යම් කියාවලියක් (පොතක් ආදිය ) ගැන ලැබෙන සංජානනයට වඩා වෙනස් මොහොතක ලැබෙන සංජානනය වෙනස් ය (පොතේ පිටු දිරා ගොස්/ඉරී තිබීම ආදිය ).. එබැවින් "කාලය" සහ "වෙනස් වීම" යනුවෙන් ද සංකල්ප දෙකක් සත්ත්වයා නිර්මාණය කර ගනියි.. නිරීක්ෂකයාගෙන් වියුක්තව "වස්තු" මෙන්ම "කාලය" ද නැත

          "ඉදින් යම්කිසි ක්‍රියාවලියක් සම්බන්ධව යම්කිසි කාලයක සිටින බොහෝ දෙනා ඇති කරගන්නා සංකල්ප බොහෝ දුරට එක සමාන යයි සිතන්න.. එවිට එම සංකල්පය "සම්මුතියක්" බවට පත් වේ.. එහෙත් සෙසු බොහෝ දෙනාද එම සංකල්පයම පිළි ගන්න බැවින් එක් එක් පුද්ගලයාට හැගෙනුයේ එය "සංකල්පයක්" නොව තමුන්ගෙන් ස්වායත්තව පවතින යතාර්ථයක් බවයි.. (අනික් බොහෝ අය පිළිගැනීම නිසා එය තවත් තහවුරු වේ ).. එහෙත් එබදු වාස්තවික යතාර්ථයක් ඇත්තෙන්ම නැත..

          "බටහිර" විද්‍යාව, විශේෂයෙන් භෞතික විද්‍යාව, ගොඩනැගුනේ නිරීක්ෂකයාගෙන් ස්වායත්ත යතාර්ථයක් ඇතැයි යන අදහස උඩ ය.. නිදසුනක් ලෙස භෞතික විද්‍යාවේ නිවුටෝනියානු සුසමාදර්ශය (පැරඩයිම් ) ගතහොත් එහි එන "වස්තු" වලට පිහිටීම්, ප්‍රවේග, ගම්‍යතා, ත්වරණ ආදිය ඇත.. එම ගුණාංග ඒවා නිරීක්ෂණය කරන්නාගෙන් ස්වායත්ත වේ.. එසේම එම "වස්තු" වලින් ස්වායත්තව "අවකාශය" සහ "කාලය" පවතියි..අවකාශය තුල පවතින වස්තූන්හි විවිධ සිද්ධි, කාලය තුල සිදු වෙයි.. එනම් සිදුවීම් දෙකක් අතර කාල ප්‍රාන්තය සියළුම නිරීක්ෂකයින්ට එක හා සමාන විය යුතු ය.. 

          "කෙසේ වුව ද වස්තූන්ගෙන් ස්වායත්ත අවකාශයක් හෝ සිද්දීන්ගෙන් ස්වායත්ත කාලයක් මගින් පැහැදිළි කළ නොහැකි "දේ" ඇති බව 19 වන සියවස අග වන විත විද්‍යාඥයින්ට වැටහිණි.. මේ නිසා ඇති වූ නව සුසමාදර්ශයක් වූයේ අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවයි.. මෙහිදී අයිස්ටයින් විසින් නිරීක්ෂකයාගෙන් ස්වායත්ත "වස්තු" සහ ඒවායේ "සිද්ධි" පිළිගත්ත ද, අවකාශය හා කාලය එම වස්තු සහ සිද්ධීන්ගෙන් ස්වායත්ත නොවන බව පැවසීය.. එනම්, "අවකාශය" යන්න පවතින්නේ "වස්තු" නිසාය.. "කාලය" පවතින්නේ "සිද්ධීන්" සිදු වන නිසා ය.. එබැවින් සිද්ධීන් දෙකක කාල ප්‍රාන්තරය වෙනස් නිරීක්ෂකයන්ට වෙනස් ලෙස හැගීම සිදු විය හැකි ය.. 

     "කෙසේ වුව ද ඉලෙක්ට්‍රෝන/ෆෝටෝන වැනි ඉතා කුඩා අංශු වල හැසිරීම මෙම ආකෘතියෙන් ද පැහැදිළි කිරීමට නොහැකි විය.. නිදසුනක් ලෙස ඉලෙක්ට්‍රෝනයක පිහිටීම සහ ප්‍රවේගය ගැන එක විට අදහසක් ලබා කත නොහැකිය.. එසේම ඉලෙක්ට්‍රෝනයක "පිහිටීම" සහ "ප්‍රවේගය" පිළිබද අප ලබා ගන්නා නිරීක්ෂණ අපෙන් ස්වායත්ත නොවේ.. එයට හේතු ලෙස බොහෝ ක්වන්ටම් භෞතික විද්‍යාඥයන් පවසන්නේ අප නිරීක්ෂණය සදහා යොදා ගන්නා ක්‍රමෝපායන්ම කුඩා අංශු වල අප නිරීක්ෂණය කරන ගුණාංග වෙනස් කරන බව ය.. නිදසුනක් ලෙස ඉලෙක්ට්‍රෝනයක ප්‍රවේගය මැනීමට විද්‍යුත් චුම්භක තරංග යොදා ගතහොත් ඒවායේ ශක්තිය ඉලෙක්ට්‍රෝනයේ ප්‍රවේගය සැලකිය යුතු ලෙස වෙනස් කරයි (නමුත් දුම්‍ රියක් වැනි විශාල වස්තුවක ප්‍රවේගය වේගමාපකයක විද්‍යුත් චුම්භක තරංග මගින් වෙනස් වන්නේ සුළු වශයෙනි ).. මෙය පිළි නොගත් ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ කුඩා අංශු වලට ප්‍රවේගයක් හා පිහිටීමක් කිසිසේත් එකවිට නොපවතින නිසා එසේ එක විට දත නොහැකි බවයි.. 

          "මේ ගැටළුව සම්බන්ධයෙන් 1972 කෝපන්හේගන්හිදී සම්මුතියකට පැමිණ ඇත.. එනම් "නිරීක්ෂණය නිරීක්ෂකයාගෙන් ස්වායත්ත නොවන බවයි". එනම් කුඩා අංශු වෙත නිරීක්ෂකයාගෙන් නිවහල් වූ "ගුණාංග" නොමැති බවයි.. කෙසේ වුව ද 1982 දී ප්‍රතිවිරුද්ධ ගුණ ඇති අංශු යොදාගෙන ඇස්පෙක්ට් නම් ප්‍රංශ විද්‍යායා කළ පර්යේෂනයේ දී, එක් අංශුවක ගුණාංගයක් ඇසුරෙන් අනිකේ ගුණාංකයක් පුරෝකථනය කළ හැකි විය.. කෝපන්හේගන් සම්මුතිය වසර 10ක් යන්නටත් පෙර මෙමගින් අර්බුදයට ලක් විය.. එහෙන්ම "නිරීක්ෂකයාගෙන් තොර වාස්තවික යතාර්ථය" යන්නත් ඒ සමග ම බොරු විය.. එබැවින් දාර්ශනික මට්ටමේදී "බටහිර" භෞතික විද්‍යාව අර්බුදයක සිටියි..

         
"ඉන් අනතුරුව ග්‍රහ චලිතය පැහැදිළි කිරීමට ප්‍රාග්-කොපර්නිකස් යුගයේ තිබූ පෘථිවි කේන්ද්‍ර කක්ෂවාද වල සිට අයින්ස්ටයින්ගේ අවකාශ-කාල වක්‍ර සංකල්පය දක්වා ප්‍රවාද ගොඩනැගුණු හැටි පැහැදිළි කරන නලින් එම ප්‍රවාද වලින් "සාධනය" වන ඊනියා නිරීක්ෂණ ද එම ප්‍රවාද වලින් ස්වායත්තව නොකළ හැකි බව පෙන්වා දෙයි.. එනම් පෘථිවි කේන්ද්‍රවාදය/ කොපර්නිකස් හා කෙප්ලර්ගේ නියම/ නිවුටන්ගේ ගුරුත්වාකර්ශන නියම/ අයින්ස්ටයින්ගේ අවකාශ කාල වක්‍ර සංකල්පය ඈ කිසිවක් වාස්තවික යතාර්ථයන් නොවන බව නලින් ඉතා දක්ෂ ලෙස පෙන්වා දෙයි.. මේ දක්වා (අඩුම තරමින් දාර්ශනික මට්ටමේදී වත් ) නලින් සමග එකග වෙනවා හැර වෙන විකල්පයක් නැත.. 

ඇත්තෙන්ම මේ දක්වා මම ඔහු සමග 99.9%ක්ම එකග වෙමි..

          නමුත් ගැටළුව ඇත්තේ පෙර කී එකග නොවෙන 0.1%හි ය.. මන්ද යත් "මගේ ලෝකය" පොතට සාපේක්ෂව එම ප්‍රතිශතය කුඩා මුත් "මගේ ලෝකයෙන්" එහාට නලින්ගේ යෝජනා සහ දිශානතිය මුළුමණින්ම පාහේ රදා පවතින්නේ එම 0.1% මත වීම නිසා ය.. එ
කරුණු දෙකකට කැටි කර දක්වන්නට මම උත්සාහ කරමි..

          1. නිර්වාණය පරමාර්ථ සත්‍ය යයි කීම :- සෙසු සංකල්ප සියල්ල සම්මුති සත්‍ය වේ.. එහිදී මම නලින් සමග එකග වෙමි.. බටහිර මෙන්ම බටහිර නොවන සංකල්ප වලටද මෙයින් ගැලවිය නොහැකිය.. කොටින්ම සංසාරය පවා සම්මුති සත්‍යයක් බව නලින් පිළිගනියි.. එහෙත් "නිර්වාණය" පරමාර්ථ සත්‍යයක් යන්න ඔහු ඉතා ඇඩමන්ට් ලෙස කියයි.. ඒ සදහා ඔහු ඉදිරිපත් කරන තර්කය පහත පරිදි ය..

          "නිර්වාණය සංකල්පයක් නොවේ.. එය පසිදුරන් හෝ මනස ඇසුරෙන් අවබෝධ කර හැක්කක් නොවේ.. මනස සහ නිරීක්ශකයා නැති කර දැමීමෙන් පමණක් නිර්වාණයට එළඹේ.. සංකල්ප/ප්‍රවාද ආදිය සෘජුව හෝ වක්‍රව සංජානනයන්ගෙන් (ඉන්ද්‍රියයන්ගෙන්) පරායත්තය.. එබැවින් නිවන සංකල්පයක් හෝ ප්‍රවාදයක් නොවේ..

          කෙසේ වුවද "නිවන පරමාර්ථ සත්‍යයක් ය" යන්නද සම්මුති සත්‍යයක් බව නලින් පිළිගනියි.. එසේ ම "නිවන යනුවෙන් දෙයක් පවතියි" යන්න, "නිවනට එළැඹිය හැකිය යන්න" "නිවන් මාර්ගය" පවා සම්මුති සත්‍ය යයි නලින් පිළිගනියි (නැතිනම් පිළිගන්නවා විය යුතුයි ).. කොටින් කියතොත් ජනයා තුළ "නිවන" යනුවෙන් සම්මුති සත්‍යයක් පැවතීම ගැන නලින්ට ලොකු ගැටළුවක් නැත.. ගැටළුව ඇත්තේ එය ඉන්ද්‍රියයන්ගෙන් ව්‍යුත්පන්න කරගත් එකක් වීමයි.. එනම් "නිවන" නම් වූ සම්මුති සත්‍යය කවුන්ටර්ෆීට් නිවනකි.. නිවන නම් වූ පරමාර්ථ සත්‍යය ඉන් බැහැරව පවතින්නකි.. බැහැරව පැවතියාට මොකද එය ව්‍යුත්පන්න කර ගත හැක්කේ අර සම්මුති සත්‍යය ඇසුරිණි..වෙන ක්‍රමයක් හිතා ගැනීමට මට හෝ නලින්ට බැරි ය..

           නිවන නැමති සම්මුති සත්‍යය (සහ/හෝ ඒ ආශ්‍රිත වෙනත් සම්මුති සත්‍ය ) ඇසුරෙන් "නිවන" නම් වූ පරමාර්ථ සත්‍යය වෙත යන්නේ කෙසේදැයි නලින් විස්තර නොකරයි.. එසේ යා හැකිය යන්න පමණක් නලින් කියයි.. ඒ අදහස ගැන මට අරියාදුවක් නැත.. මන්ද "එසේ යා හැකිය" යන්න පවා සම්මුති සත්‍යයක් ලෙස නලින් ම පිළිගන්නා බැවිනි.. නමුත් මගේ අරියාදුව ඇත්තේ නලින් ඉන් පසුව කියන දේ සමග ය. "පරමාර්ථ සත්‍යයක් තවත් පරමාර්ථ සත්‍යයකින් පැහැදිළි කිරීම ආදී වශයෙන් ගතහොත් එහි කෙළවරක් නොවන බව" පවසන නලින් "පරමාර්ථ සත්‍යය" සම්මුති සත්‍යයන් ඇසුරෙන් පැහැදිළි කළ නොහැකි නමුත් පරමාර්ථ සත්‍යයට එළැඹිය හැක්කේ සම්මුති සත්‍යයෙන් පමණක් යයි පවසයි.. මෙහි ඇති ගැටළුව නම් සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය අතර කිසියම් අවධි අවස්ථාවක් තිබේද නැද්ද යන්නයි.. නොහොත් සම්මුති සත්‍ය ඇසුරෙන් එළැඹෙන "දෙය" (නිර්වාණය "දෙයක්" නොවේ) සම්මුති සත්‍යයක්ම නොවන්නේ ඇයිද, හෝ පරමාර්ථ සත්‍යයට එළැඹෙන මාර්ගය පරමාර්ථ සත්‍යයක් නොවන්නේ මන්ද යන්නෙන් නලින් ලිස්සා යයි.. නිර්වාණය නිරීක්ෂකයාගෙන් ස්වායත්ත නම්, නිරීක්ෂකයා නැති කිරීමෙන් / නැති බව අවබෝධ කිරීමෙන් පමණක් දත හැකි නම් එය "දන්නේ" නිරීක්ෂකයා ද, නිරීක්ෂකයා නොවේ ද මනසින් ද මනසින් නොවේද යනාදී ප්‍රශ්න මතු වෙයි.. ඕනෑ නම් මනසිනුත් නොවේ, මනසින් නොවේත් නොවේ ආදී වශයෙන් තර්ක කළ හැකි ය.. එමෙන්ම මනසින් ස්වායත්ත වූ බැවින් නිර්වාණය කියා දෙයක් ඇද්ද යන්නට ද එබදු "චතුර්කෝටික" තර්ක ඉදිරිපත් කළ හැකිය.. නමුත් "නිර්වාණය යන්න පරමාර්ථ සත්‍යයක් බව" ද සම්මුති සත්‍යයක් බවට නලින් ම කියන දෙය නලින් ම පිළිගන්නේ නම් "ඔච්චර නහින්නේ මොකටදැයි" ඇහුවොත් නලින් කියන්නේ කුමක් ද?

          මා මෙසේ පැවසුවේ බුදු දහමේ එන "නිර්වාණය" යන්න බොරුවක් යයි පැවසීමට නොවේ..පෞද්ගලිකව මගේ මතය ගතහොත් "නිර්වාණය" ඇතැයි හෝ නැතැයි මම නොපවසමි.. එය තිබීමට සැලකිය යුතු ඉඩක් ඇතැයි මම පිළිගනිමි(මා බෞද්ධයෙක් නොවේ).. නමුත් නලින් ම පවසන පරිදි "දෙයක් නොවන" "ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන" "පැහැදිළි කළ නොහැකි" "සංකල්පයක් ද නොවන" නිර්වාණය "පරමාර්ථ සත්‍යයක්" ලෙස ගැනීමට නලින් පෙලඹෙන්නේ මන්ද? එහෙම නොකර නොසිටියේ ඇයි? අනෙක් සියළු සත්‍ය "සම්මුති සත්‍ය" වේ යන්න පිළිගන්නා නලින්ගේ මැදහත් සත්ත්වයා වන මා "නිර්වානය පරමාර්ථ සත්‍යයක්" යන්න සැලකිය යුත්තේ කුමක් කියා ද? එය නලින් පිටුදැකි අනෙකුත් සම්මුති සත්‍ය වගේම එකක් ද? නැතිනම් ඊට වඩා ඉහළ එකක් ද?

          නලින් පවසන දෙයින් ස්වාධීනව බැලුවොත් නම් මට පෙනෙන්නේ සිංහල-බෞද්ධ පදනමට ඇති පක්ෂපාතිත්වය 1986 දී ඔහුගේ පැවති විවෘත දාර්ශනික, මනසේ ඉතා යන්තමින් සේයාවක් ලෙස පැවති බවයි.. පසු කලෙක නග්නමය පැහැදිළි බවකින් නලින්ගේ අදහස් තුළ වැඩුනේ මේ සේයාව නොවේ ද? (සමා වෙන්න, මෙම ලිපියෙන් 1986න් පසු නලින් ගැන කතා කරන්නට බලාපොරොත්තු නොවෙමි )..

          2. නලින්ගේ විකල්පය කුමක් ද? "බටහිර" විද්‍යාව තම ආධිපත්‍යය පතුරුවාගෙන ඉන්නේ "වාස්තවික යතාර්ථය" යන මිථ්‍යාව ප්‍රචාරය කිරීමෙන් සහ එකම ක්‍රියාවලින් වෙනුවෙන් එකම (හෝ බොහෝ දුරට එකම ) සංකල්ප ගොඩනගන පරිද්දෙන් විද්‍යාඥයන්ගේ මනස් සකස් කිරීමෙන් බව ය.. මේ ප්‍රකාශයට මම 200%ක් එකග වෙමි.. ලංකාවේ වෙසෙන බොහෝ "විද්‍යාඥයන්" එබදු යයි සිතා ගන්නට මට නලින් ද සිල්වා අවශ්‍ය නොවේ.. එසේ වුව ද විවිධ කාල වල "බටහිර" විද්‍යාවේ බලපවත්වන්නේ විවිධ සුසමාදර්ශ (නිවුටෝනීය/ අයින්ස්ටයිනීය ආදී වශයෙන් ) නිසා, කාලයෙන් කාලයට "විද්‍යාඥයන්" ක්‍රියාවලීන් සදහා දෙන සංකල්ප ද වෙනස් ය.. නිදසුනක් ලෙස 1850 දී "ගුරුත්වාකර්ෂන බලය" යන සංකල්පය සම්මුතියක් ව පැවතින.. එහෙත් 2000 වන විට එම සම්මුතිය බල නොපවත්වයි.. සමහර ඉතා සාම්ප්‍රදායික විද්‍යාඥයන් "ගුරුත්වාකර්ෂණ බලය" ද ඇතැම් වෙනත් විද්‍යාඥයන් "අවකාශ කාල වක්‍රය" ද යන සම්මුතීන්හි සිටින අතර සුළු පිරිසක් කිසිදු සම්මුතියක නොපිහිටා අඥාතව සිටිති.. ඇතැම් විට 2050 වන අතර අළුත්ම සම්මුතියක් ඇති වී සියල්ලන්ම එය පිළිගෙන සිටින්නට පුළුවන.. එමෙන්ම නිවුටන්, අයින්ස්ටයින්, කෙල්වින් වැනි මෙම සම්මුතීන් සාදන්නන්ගේ "ලෝකය"යන් අහසට පොළොව මෙන් වෙනස් වූ බව ද නලින් කියයි.. ඒ සියල්ල සහතික ඇත්ත වේ.. එහෙත් එකක් තියෙන්නේ මෙම කතාවේ පොදු ප්‍රවාහ රටාව ගැන නලින් උනන්දු නොවීමයි.. නැති නම් උවමනාවෙන්ම මගහැර සිටීමයි.. 

          නිදසුනක් ලෙස නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ වාදයෙන් බුධ ග්‍රහයාගේ කක්ෂය නිවැරදිව පැහැදිළි කළ නොහැකි බව නලින් ඉතා නිවැරදිව පෙන්වා දෙයි.. එම බුධ ග්‍රහයාගේ "අසාමාන්‍ය" හැසිරීම අයින්ස්ටයින්ගේ "අවකාශ-කාල වක්‍රය" මගින් පැහැදිළි කෙරේ.. එහෙත් නලින් ඊට වඩා අඩු වටිනාකමක් දෙන කරුණ නම් අයින්ස්ටයින්ගේ අවකාශ කාල වක්‍රය මගින් නිවුටන් වෙනත් ග්‍රහලෝක සදහා කල පැහැදිළි කිරීම ද නොගිණිය හැකි තරම් විචල්‍යයක් සහිතව පැහැදිළි කරන බව ය.. බුධ ග්‍රහයාගේ කක්ෂය නිවුටන් දැන සිටින්නට විදිහක් නැත.. අයින්ස්ටයින් එය දනියි.. මෙයින් කියවෙන්නේ අයින්ස්ටයින්ගේ "අවකාශ කාල වක්‍රය" සම්පූර්ණ සංකල්පයක් බව නොවේ.. එයට පැහැදිළි කල නොහැකි කොතෙකුත් දේ තිබෙනවා ඇත (ඇතැම් විට මෙලහකටත් සොයාගෙන තිබෙනවා වන්නට ඇත -නලින් මෙන් මා භෞතික විද්‍යාඥයෙක් නොවේ- ).. ඒ පැහැදිළි කිරීමට වෙනත් සංකල්පයක්/සංකල්ප බිහි වනු ඇත.. (ඒ සියල්ල සංකල්ප මිස වාස්තවික යතාර්ථය නොවන බව මම පිළිගනිමි ).. 

          එහෙත් වඩා නව සංකල්ප, පැරණි සංකල්ප වලින් පැහැදිළි කරන ලද "ක්‍රියාවලි" ඇතුළුව ඊට වඩා පළල් ක්‍රියාවලි සංඛ්‍යාවක් පැහැදිළි කරනු ඇත.. මෙය "බටහිර විද්‍යාව කෙමෙන් සත්‍යයට ලං වීමක්" ලෙස මම නොකියමි.. පරමාර්ථ සත්‍යයක් හෝ වාස්තවික යතාර්ථයක් ඇතැයි මම විශ්වාස නොකරමි (ඒක පෙන්නල දුන්නට නලින්ට තැන්ක් යූ.. නිවන තමයි මචෝ ජුන්ඩි කේස් එකක් තියෙන්නෙ ).. කෙසේ වෙතත් "බටහිර" විද්‍යාවේ මෙම පොදු ප්‍රවාහයේ දිශාව සලකන විට "බටහිර" විද්‍යාව යම් මොහොතක, ඊට පෙර මොහොතේ තිබුනාට වඩා ඉහළ ප්‍රයෝජ්‍ය වටිනාකමක් ඇති දෙයක් බවට පත් වීම නොවැළැක්විය හැකිය.. එමෙන්ම 2011 "බටහිර" විද්‍යාවේ ප්‍රයෝජ්‍ය වටිනාකම වචනයෙන් කිව නොහැකි තරම් අධික බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැතැයි සිතමි.. එක් අතකින් මෙම "ප්‍රයෝජ්‍ය වටිනාකම" ලෝක ජනතාවට භෞතිකව (මෙන්ම මානසිකව ද ) විශාල සෙතක් සලසන අතර අනික් අතින් එය අනෙකුත් "දැනුම්" අභිබවා ලෝකයේ ආධිපත්‍යය තබන්නට සමත් වී ඇත.. එම ආධිපත්‍යය ප්‍රයෝජ්‍ය වටිනාකමට පසුව ඇති වූවකැයි යන්න මගේ පෞද්ගලික විශ්වාසයයි.. (නලින් ඇතැම් විට එය පිළි නොගනු ඇත.. කිකිළි/බිත්තරය ඩිලේමාවක් ඒකට ඇදගන්නෙ නැතුව ඉම්මුකො.. මම චිකන්/එග් දෙකම කනව.. නලින් එපා කිව්වත්!!).. එය කෙසේ වෙතත් එම ආධිපත්‍යය පැටවෙන කාලයේ එය වළක්වන්නට වුවමනාවක් (හෝ හැකියාවක්) නලින්ගේ මීමුත්තලාට, පනත්තලාට නොතිබුණු බව පැහැදිළි ය.. 

          දැන් අපට එම ආධිපත්‍යය පිළිගැනීම (සහ, නලින්ගේ ඇති වැදගත් මතවාද -ඔහු කැමති නම් පමණක් - එම මහා පද්ධතියට එකතු කිරීම ) හැර වෙනත් විකල්ප තිබේ ද? තිබෙන බව නලින් කිවුවත් ඉන් එකක් හෝ පෙන්නන්නට නලින් අසමත් වූ බවක් පසුව පෙනෙන බව මගේ විශ්වාසයයි (අපේ ප්‍රවාද නැමති පොත් ද කියවා මෙය තහවුරු කරගන්නා තුරු ඒ පිළිබදව අපි වාද නොකර ඉමු..).. රටේ ප්‍රධාන විද්‍යා පීඨයක පීඨාධිපති කෙනෙකු එසේ අසමත් වෙයි නම් අපිට ද පුළුවන්?? 

            අනෙක් අතට "බටහිර" විද්‍යාවේ එම "විශ්වසනීය ප්‍රවාද/සම්මුති" බැහැර කර ඒ වෙනුවට "අපගේ ප්‍රවාද" නිර්මාණය කර ආදේශ කර ගැනීම කළ හැකි යයි (නලින් එසේ කිරීමට අසමත් වීම නොසලකා ) අපි මොහොතකට සිතමු.. එහෙත් එසේ කළ යුත්තේ ඇයි? අපට බටහිර හෝ පෙරදිග ඕනෑම ප්‍රවාදයක් අවශ්‍ය වන්නේ එහි ප්‍රයෝජ්‍ය වටිනාකම නිසා යයි සිතමි.. (නලින් ද ඒ බව "මගේ ලෝකයෙහි" කියා ඇත ).. නමුත් දැන් ගැටළුවන් වන්නේ "බටහිර" ප්‍රවාද වෙනුවට "අපේ" ප්‍රවාද ආදේශ කිරීමට හේතු මොනවාදැයි බැලීම ය.. එසේ කළ යුතු ය/ කළ හැකිය යන්න මිස කරන්නේ ඇයි යන්න නලින් කියා නැත.. ඔහු "නිපදවන" "අපේ" ප්‍රවාද, බටහිර ප්‍රවාද වෙනුවට ආදේශ කිරීම සාධාරණීකරණය කිරීමට නම් ඒවා අරිට වඩා ප්‍රයෝජ්‍ය වටිනාකමකින් යුතු, විශ්වසනීය ඒවා විය යුතු යයි හගිමි.. නැත්තම් ඇති වැඩේ මොකක්ද? එම ප්‍රවාද එසේ වන බව ඔප්පු කරන්න යයි නලින්ට නොකියමි.. එහෙත් ඒවා එසේ වන බවට අඩුම තරමේ (ප්‍රායෝගික ).. ඉගියක් හෝ දීමට නලින් සමත් වී ඇති ද? නැති නම් නලින් ඒවා ආදේශ කළ යුතු යයි කියන්නේ "අපේ කම" නිසාම පමණක් ද? 

(සංස්කෘතික ආධිපත්‍යය කතාව වෙනම කතා කරමු )

-ස්තුතියි..

 

12 comments:

  1. අසූ හයට පෙර නලින් ගැන කතාව සිමා කිරීම ගැන ඉතාම සතුටුයි .මේ සීමාව උඹ දැම්මේ නැත නම් මම මේ කොමෙන්ට් එක වත් දාන්නේ නෑ . නලින් කියන සමස්ත ප්‍රපංචය මේ වෙද්දී විහිළුවක් වෙලා . නමුත් මම දකින විදිහට ඔහු බුද්ධිමතෙක් . ඔහුගෙන් ගත යුත්තක් තියෙනවා . අසූ හයෙන් පෙර නලින් කියන්නේ පිළිකා කොටස අතහැරලා මේ සංවාදය බුද්ධිමත්ව පවත්වාගෙන යන්න පුළුවන් පොයින්ට් එකක් . ඇඟිලි දෙකෙන්ම Thumbs Up මේ සීමාව දැම්මට .
    උඹේ පොස්ට් එකේ මුල හරිය මගේ අදහස් වලටත් සමපාතයි . රිටිගල (RJ ) ගැන උඹේ මතයටත් මම එකඟයි . උඹ අවසානයේ ප්‍රශ්න දෙක අහනවා . මම ඒවා ගැන මට හිතෙන දේ කියන්නම් . පලවෙනි එක නිර්වාණය ගැන . මචන් ඕනෑම බුධිමතෙකුට තමන්ගේ බුධියෙන් මුළුමනින් ග්‍රහණය කරගන්න බැරි තැනක් එනවා . අයින්ස්ටයින් නැවතුනේ විශ්වීය සමමිතිය ළඟ . නලින් නිවන ළඟ . අයින්ස්ටයින්ගේ පිළිතුර උනේ පුද්ගලික දේවත්ව සංකල්පය ( Private God ) නලින්ගේ උත්තරේ නිවන් සංකල්පයක්ල් නොවන වග . මම නලින් අයන්ස්ටයින්ට සමාන කරනවා නෙවෙයි . කතාව පැහැදිළි කරනවා . අයන්ස්ටයින් යුදෙව් නලින් බෞද්ධ . සමර විජේසිංහ මේ සීන් එක ලස්සනට පැහැදිළි කරලා තිබුන තැනක . අපට අත් දෙකක් ඇත . එක අතක් නිදහස්ව සිතන , සියලු ආගම් ගරු කරන , මානව හිත්වාදයෙන් යුක්ත අනික් අත තනිකර සිංහල බෞද්ධ ! . ඕනෑම කෙනෙක් තමන්ගේ බුද්ධියේ කෙලවර තියෙන අඳුරු ඒරියා එක මොඩල් කරන්නේ තමන්වත් නොදන්නේ තැන ඇතුළේ තියෙන සංකල්ප මත . මම බෞද්ධ එක හින්ද මේ දේ මං අතිනුත් අනිවාර්යයෙන් වෙනවා .
    නිවන ගැන නලින් කරන විග්‍රහයේ මට වැඩි අවුලක් නෑ . නිවන පරමාර්ථ සතයක් ය කියන එක පැහැදිළි කරන්න සම්මුති සත්‍ය යොදාගන්න එක මිට පෙර ඉඳන්ම තුබුණු සීන් එකක් . නාගර්ජුන හාමුදුරුවෝ චුල්ල මද්යම කාරිකාවේ ශෝලෝක වල ශුන්‍යතාව පැහැදිළි කරන්නෙත් ඔය මෙතඩ් එක දාලම තමයි . තියරි දාල නිවන් යන්න බැරි වෙයි . නමුත් ඒ ගැන විග්‍රහ කරන්න උත්සාහ කරන එක අවුලක් නෑ එකෙන් කෝර් පිලොසොපියට හානියක් නොවී .
    දෙවෙනි ප්‍රශ්නෙට නම් මචන් මට උත්තරයක් නෑ . නලින් නිර්මානාත්මක සාපේක්ෂතා වාදයක් ගැන කිව්වා . ඒ අසුහයෙන් පස්සේ . ඒ නිර්මානාත්මක් සාපේක්ෂතා වාදය නතර උනේ නලින් අද ඉන්න තැනින් . එක හින්ද ඒවා ගැන කතා නොකර ඉම්මු .

    දැනට එච්චරයි . ජයෙන් ජය පතනවා මිත්‍රයා උඹට . තව ලියපන් . වෙලාව තියෙන විදිහට මේ පැත්තට ඇවිලා කියවල යන්නම් .
    - සිහින එකතුකරන්නෙක් .

    ReplyDelete
  2. මටත් නලීන්ද සිල්වා ඇදුරුතුමා (මින් මතු පහසුවට සිල්ව) කියන ඇතැම් දේ සම්බන්ධව ගැටළු තියෙනව. ඒත් තාඹුට ගැටළුවක් වෙච්ච දේවල් නම් මට කවදාවත් ගැටළුවක් වෙලා නැතිබව නිෂ්චිතවම කිව හැකියි.

    තාඹුගෙ දෙවෙනි කරුණ පුද්ගලික රුචි අරුචි කම් සම්බන්ධ දෙයක් නිසා සහ මට තියෙන කාල වේලා ප්‍රශ්ණ නිසා මං මුල් එකට විතරක් උත්තරයක් දෙන්නම්.

    සම්මුති මැදිහත් වූ පමණින් ඒකෙ ඵලයත් සම්මුතියක්ම විය යුතුය කියල කියවිලා නැහැනෙ. තාඹු ඇයි එහෙම කියන්නෙ. මේ ගැටළුවට සර්ව සාම්යයක් නොවුණත් ඔය තාඹු අහන එකත් හරියට "වැඩක් නොකර ඉන්නව කියන එකත් වැඩක් (හෙවත් කළයුත්තක්) නොවේද" වගෙ දෙයක්. වැඩක් නොකර ඉන්නව කියන එකත් කළ යුත්තක් තමයි, හැබැයි එතනදි කරන්නෙ මුකුත් නොකර ඉන්න එක. සිල්ව ඕක තමයි සුද්ද හිංගලෙන් කිව්වෙ නිවන් අවබෝධයෙදි වෙන්නෙ නැති මනස නැති මනසක් බව නැති මනසින් අවබෝධ වෙන එක කියල (හරියට හිතල බැලුවොත් තාඹුගෙ අවුලෙ මුල තියෙන්නෙ එතන). කොහොමටත් මෙහෙම තර්ක වචන වල එල්ලිලා කරන්න බැහැ. වචනත් සම්මුති. ඒක හින්ද සිල්ව කියපුව වචනාර්ථෙන් ගන්නෙ නැතුව වචන වල අඩුපාඩු කම් වලට යටත්ව මනුස්සය කියන්න හදන්නෙ මොකක්ද කියන එක අර 'එව බලව' මෙතඩ් එකෙන් තේරුම් ගන්න හදනව නම් තමයි හොඳ.

    තාඹු තව තැනක අහල තිබුණ නිර්වාණය නිරීක්ෂකයාගෙන් ස්වායත්ත නම් එය 'දන්නෙ' නිරීක්ෂකයාද නිරීක්ෂකය නොවේද මනසින්ද මනසින් නොවේද කියල. ඕකට උත්තරේ තියෙන්නෙ "නිවන් යාමක් ඇත නිවන් යන්නෙක් නැත" කියන එකේ. ලියවිලා තියෙන තැන හරියටම මතක නැතත් ඕක බුදු හාමුදුරුවොම කියපු දෙයක් (මට මතක හැටියට). ඕකෙන් කියවෙන්නෙ මෙහෙම දෙයක්. අපිට සාපේක්ෂව ඉන්න A නම් තැනැත්තා නිවං ගිහිං A නම් කෙනෙක් නැති බව තේරුම් ගන්නව. අපිට සාපේෂව නම් ඒක තේරුම් ගන්නෙ A. හැබැයි අපිට සාපේක්ෂව ඉන්න A ඒක තේරුම් ගන්නෙ එහෙම නිවං ගිහිං තිබුණට ගිය කෙනෙක් නැහැ කියලයි (මොකද අපි A කියල දකින කෙනා එහෙම A කියල කෙනෙක් ඉන්නව කියල තවදුරටත් දකින්නෙන් නැති නිසා).

    මේව ඔක්කොම අපිට සාපේෂ නිසා ඒක මහා පොදු සාධකය වශයෙන් අරගෙන වරහන් වලින් එළියෙන් තියමුකො. ඊට පස්සෙ ඔය තාඹු අහපු ප්‍රශ්ණෙට දෙන්න තියෙන උත්තරේ තමයි නිවන් ගිහිං තියෙන්නෙ A ය හැබැයි A ට සාපේක්ෂව A කියල කෙනෙක් නැතය කියල තමයි (කාල වරෙංකො).

    වෙලා තියෙන හැටියට වැඩි දුරටත් ලියන්නම්.

    - පුක්කුසාති.

    ReplyDelete
  3. ස්තුතියි කමෙන්ට් වලට..

    අසංග කියපු එක ඇත්ත.. ඔය කියන "අඳුරු ප්‍රදේශය" පැහැදිළි කිරීමෙදි කවුරුත් රිසෝර්ට් වෙන්නෙ තම තමන්ගෙ මානසික/සංස්කෘතික ඇබ්බැහිකම් වලට.. අයින්ස්ටයින් පෑන්තීස්ට් ගෝඩ් කෙනෙක් ගැන කියන්නෙ සහ නලින් නිර්වාණය ගැන කියන්නෙ ඒක නිසා කියන එක මම පිළිගන්නව.. ඒත් මට තියෙන ගැටළුව ඒක නෙමෙයි මහතාණෙනි.. ඔය කාරණේ ඔහොමයි කියල එනම් "මිනිස්සු ක්‍රියාවලි පැහැදිළි කිරීමට සංකල්ප හා දැනුම ගොඩනැගීමේදී තම මනසට සංස්කෘතියට සහ වෙනත් ඇබ්බැහිකම් වලින් පරායත්තව මිස ඒවායින් ස්වායත්තව එසේ නොකරති", කියන අදහස අපේ සංදර්භය තුළ ගෙනාපු කෙනෙක් තමයි නලින්.. කොටින්ම ඒක එහෙමයි කියල මම ඉගෙන ගත්තෙත් නලින්ගෙන්.. ගැටළුව තියෙන්නෙ මහතාණෙනි, එහෙම කියපු නලින් මතවාදිමය වශයෙන් එතනින් ඉදිරියට නොගොස්, තමා හඳුනාගත් ප්‍රවණතාවට තමාම නතු වීම.. නිර්වාණය ගැන නලින්ගෙ ස්ථාවරේ ඒකට උදාහරණයක් නෙමෙයිද? ඒක "හැමෝම පගාව ගනිති, එබැවින් මම ද පගාව ගනිමි" වගේ ස්ථාවරයක් නෙමෙයිද? (සංස්කෘතික ඇබ්බැහිකම පගාව ගැනීමක් වගේ විනාශකාරී දෙයක් කියල නෙමෙයි මම අදහස් කළේ ).. සමහර විට මම වැරදි වෙන පුළුවන්.. එතනින් එහාට නලින්ට තිබ්බෙ විකල්පය නලින් අනුගමනය කරපු විකල්පය (එනම් සංස්කෘතික ඇබ්බැහිකම් තිබීම වරදින් මුදවල සංස්කෘතියට සාපේක්ෂ දැනුම නිර්මාණය කිරීම ) වෙන්ඩ පුළුවන්.. නමුත් ඊට වඩා නිවැරදි වුණත් නැතත් නලින්ගෙ "සංස්කෘතික ඇබ්බැහිකම පිළිබඳ කතාව" ඇත්ත කියල පිළිගත්තයින් පස්සෙ මම එලඹෙන්නෙ ඊට වඩා ටිකක් වෙනස් විකල්පයක් දෙසට.. ඒ තමයි අවස්ථෝචිතව වඩාත් විශ්වාසනීය හා උපයෝගී දැනුම / සංකල්ප යොදා ගැනීම කියන එකට.. සංස්කෘතික පරායත්ත බව තරුම් ගත්තට පස්සෙ අපි ට්‍රයි කරන්ඩ ඕනෙ ඒක නැති කරන්ඩ හරි අඩු කරන්ඩ හරි මාර්ගයක් හොයන එක මිසක්කං "අහක යන සංස්කෘතියක්" වෙනුවට අපි "අපේ සංස්කෘතියට පරායත්ත වෙනවෝ" කියන්ඩ නෙමෙයි නේද?

    ඇනොනිමස් (පුක්කුසාති ), ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමටත්.. මහතාණෙනි, සංකල්පයක් හෝ විශ්වසනීය සම්මුතියක් වශයෙන් නිවන ගැන මට ගැටළුවක් පැන නොනගී.. කොටින්ම බුදු දහමේ ඉගැන්වෙන "නිවන" ගැන මට ගැටළුවක් නැත.. ගැටළුව ඇත්තේ එය "පරමාර්ථ" යයි කීමේ ය.. ඔබගේ උදාහරණය මට ගෝචර වේ.. "ඒ" ට සාපේක්ෂව "ඒ" නැති බැවු "ඒ" අවබෝධ කර ගනියි.. "බී" වන මම "ඒ" අවබෝධ කරගත් දෙය අවබෝධ කරගෙන නොසිටියත් මට සාපේක්ෂව සිටින "ඒ" ඔහුට සාපේක්ෂව ඔහු නොමැති බව අවබෝධ කරගෙන සිටියි යන්න අවබෝධ කර සිටිමි.. නිවන යන සංකල්පය (මට සාපේක්ෂව එය සංකල්පයක් බැවින් මම එසේ කියමි ) පැහැදිළි කිරීමට ඒ උදාහරණය ප්‍රශස්ත බැවු මම ද පිළිගනිමි.. එහෙත් ගැටළුව ඇත්තේ එහි නොවේ.. "ඒ" නොමැත්තේ ද "ඒ" ට සාපේක්ෂව ය.. "ඒ" නොමැති බව "නොමැති" "ඒ" අවබෝධ කරගත්තේ ද "බී" වන මට සාපේක්ෂව ය.. නිවන ගැන කිසිඳු පිළිගැනීමක් නැති සමක ගිනියානු ජාතිකයෙකු වන "සී" ට සාපේක්ෂව "ඒ" තමා "නොමැති" බව අවබෝධ කරගෙන ඇතැයි යන්න "ඒ" සහ "බී" ගේ විශ්වාසයකි.. ඉදින් මෙම සමස්ථ පද්ධතිය තුළ ලැබෙනුයේ "නිවන" යනුවෙන් හැඳින්වෙන දෙය "ඒ"ට සාපේක්ෂව ඇති හෝ නැති (නිවන් ගිහින් නැති බැවින් නොදනිමි ), "බී" වන මට සාපේක්ෂව "ඇති", "සී" වන සමක ගිනියානුවාට සාපේක්ෂව "නැති" "එකක්" නොවේද? "නිවන" යන්නෙහි විශ්වසනීය බව මෙයින් අර්බුදයට ලක් නොවූවත් එහි "පරමාර්ථ" බවක් ඉතුරු වෙන්නෙ නෑ නේද? කොටින්ම "නිවන" ද නිවන් යන සහ විශ්වාස කරන අයට සාපේක්ෂයි නේද? මම එය විශ්වාස කරමි, ඒක වෙනම කරුණකි..

    සම්මුති සත්‍යය ඇසුරෙන් සම්මුති සත්‍යයකට පමණක්ම එළැඹෙතැයි මම නොකීවෙමි.. (සම්මුති සත්‍ය ඇසුරෙන් අමු බොරු වලට එලැඹෙන කතාව අපි අමතක කරමු.. සමහර බටහිර "දැනුම්" පද්ධටීන්හි එහෙම වෙන බව නලින් ඉතා ප්‍රශස්ත ලෙස පෙන්වා ඇත ).. මට ඇති ගැටළුව නම් යම් නිශ්චිත සම්මුති සත්‍යයකින් පරමාර්ථ සත්‍යයකට එලැඹෙන බව ප්‍රමාණවත් පරිදි පෙන්වා නොදෙන නලින් එය එසේ යයි කියා පමණක් නැවතීම ය.. එනම් "නිර්වාණය පරමාර්ථ සත්‍යයක් ය" යන සම්මුති සත්‍යයට වෙනත් සම්මුති සත්‍යයන්ට වඩා ඉහළ විශ්වාසනීය අගයක් දීම ගැන නලින් එක්ක ඇති වූ අරියාදුවකි..

    මේ සම්මුති-පරමාර්ථ තාර බර ඇරිය පසු ඉතිරි වන නිවන පිළිබඳ සංකල්පය ගැන මට පැහැදීමක් හා විශ්වාසයක් ඇත.. එය මේ ප්‍රශ්නයට අදාළ නැති වෙනම එකක් යයි සිතේ..

    ReplyDelete
  4. නලින්ගේ දෙබිඩි ස්වභාවය ගැන පැහැදිලි ප්‍රශ්නයක් මටත් තියෙනවා . අසූ හයට පෙර නලින් හා අසූ හයෙන් පසු නලින් කියන්නේ මතවාදීව ගත්තොත් එකින් පෑහෙන්නේ නැති චරිත . මම හිතන්නේ බුද්ධිය පරයා දේශපාලනික කෑදරකම ඉස්මතුවිමෙන් තමයි මේ දෙබිඩි මත ඉස්මතු උනේ . මම කොයිම වෙලාවක වත් නලින් අදහන්නේ නෑ . ඔහුගෙන් ගත යුතු දේ තියෙනවා . ඊට මම ගරු කරනවා . එපමණයි . ජයෙන් ජය පතනවා බ්ලොග් එකට . වෙලාව ඇති ඇති විදිහට නැවත එන්නම් .

    ReplyDelete
  5. කෝපන්හේගන් විවරණය කියන්නේ කොන්ටම් භෞතික විද්‍යාවේ ප්‍රකට ම විවරණය. (මේක ගැන දැන ගන්න තියන ලිපි ඉන්ටනෙට් එකෙ එමටයි ) ඒක ඉදිරිපත් කළේ බෝර්. ඒකෙ ප්‍රධාන ම විවේචකයා උනේ අයින්ස්ටයින්. බෝර් මැරුනෙ 1962. අයින්ස්ටයින් මැරුනෙ 1955. මේ හාදයා කියන ව්දියට, ඇස්පෙක්ට් ගේ පරීක්ෂණය ට අවුරුදු 10 කට කලින් ලු කෝපන්හේගන් විවරණය ඉදිරිපත් කළේ. මේ වගේ සරල දෙවලුත් වරද්දලා.

    නලින් ද සිල්වා ගැන ලියපුවා ත් ඉතින් ඔච්චර ම තමයි.

    -දුලන්ජන්-

    ReplyDelete
  6. සමා වන්න.. කාල වකවානු උපුටා ගන්නා ලද්දේ නලින් ද සිල්වාගේ "මගේ ලෝකය" කෘතියෙනි.. ඒවා රිලයබල් යයි සිතූ හෙයින් අමුතුවෙන් සොයන්ට මහන්සි නොගත්තෙමි.. එසේ වුව ද වරද වරද ම බව පිළිගනිමි.. අකුරු, ඉලක්කම් වැරදි හැර වෙනත් වැරදි ද පෙන්වා දෙන්නේ නම් සතුටු වෙමි..

    ReplyDelete
  7. කෝපන්හේගන් විවරණය ඉදිරිපත් කලේ 1972 කියලා "මගේ ලෝකය" පොතේ මොන පිටුවෙද තියෙන්නේ? ඔබේ ලිපියේ ඉතිරි වැරදි ඊට පසුව පෙන්වා දෙන්නම්.

    -දුලන්ජන්-

    ReplyDelete
  8. සමාවෙන්න වැරදීමක් වෙලා තියෙනවා.. ඇස්පෙක්ට්ගේ පරීක්ෂණය 1982දි බව කිවුවත් කෝපන්හේගන් විවරණයේ දින වකවානු "මගේ ලෝකයේ" කියලා නැහැ.. මම භෞතික විද්‍යාඥයෙක් නොවෙමි.. ඒ පිළිබඳ ඉතිහාසය ගැනත් එතරම් අවබෝධයක් නැත.. කිසියම් ව්‍යාජ මතකයක් නිසා 1972 යන්න ඇතුළුවී ඇති බව පෙනේ.. ඒ පිළිඹඳව සමා වන්න.. අනෙක් වැරදිත් පෙන්වා දෙනවා නම් කෘතඥ වෙමි..

    ReplyDelete
  9. ඔබ ගේ ලිපියේ අඩු පාඩු සැහෙන්න ඇත.

    ඔබ කරන ප්‍රධාන ම වැරැද්ද ලිපිය ට අදාළ ව තාර්කික පදනමක් ගොඩ නඟා ගැනීමේ නොහැකියාව යි. නලින් මහතා සිය මතවාදයන් ට ප්‍රබල ආරම්භය ක් ගන්නේ 1986 දී "මගේ ලෝකය" කෘතියෙන් පසුව යි. ඔහු එතැන් සිට, මේ දක්වා විවිධ පැති ඔස්සේ සිය මතවාද ඉදිරිපත් කර යි. තත්ත්වය එසේ තිබිය දී, "1986 න් පසුව කතා නොකරනවා" යනුවෙන් සීමාවක් තබා ගැනීමේ පදනම කුමක් ද? දැනුම නිර්මාණය කළ යුත්තේ ඇයි ද යන කාරණය ඔබ ට අනුව නලින් මහතා පෙන්වා දී නැත. නමුත්, මාක්ස්වාදයේ දරිද්‍රතාවය, අපෝහකයේ රූපිකය, පරිසරය සහ බටහිර ආකල්ප, යන කෘති ඔහු අතින් ලියැවෙන්නේ ම එම කරුණ පෙන්වා දීමට යි. ඔබ මේ කිසිවක් ගැන දැනුවත් වී නැති බව පැහැදිලි ය. ඔබ ට 86 ට පෙර නලින් මහතා ගැන ද අවබෝධයක් ද නැත. බටහිර ආකල්ප තුලින් පරිසරය විනාශ වීම සම්බන්ධව, එතුමා කතා කලේ 86 ට පෙර සිට ය.

    නලින් මහතා ගේ මතවාද ගැන විවේචනය ක් ගෙන එම ඔබ සිතන පරිදි සරල නැත. ඔබ ට ඒ සඳහා අවශ්‍ය අවබෝධය ද නැත. එම නිසා, "1986 ට පෙර" වැනි පුහු සීමා වලින් බැහැරව (සමහර කොමෙන්ට් කරුවන් ගේ විකාර ප්‍රකාශ වලට ද නොරැවටී), අවංක ව අධ්‍යනය කරන මෙන් ඉල්ලා සිටිමි.

    -දුලන්ජන්-

    ReplyDelete
  10. තරහ වෙන්ඩ එපා මෙහම කියනවට, හැබැයි ඔය නලින් සිල්වා කියන්නේ තනිකර පිස්සෙක්. මෙන්ටල් පොරක්. මිහිහ කියන්නේ මොනවත් නැහැ කියන එකනේ. ඒ කියන්නේ අපි දකින්නේ තනිකර මායාවක් කියන එක. දැන් මිනිහ අර තෙල් බෙහෙත් විකුනන ගෑනියෙක් ගාව නතර වෙලා දෙවියොත් එක්ක ටෝක්ස් දානවා. පිස්සු මෙන්ටලයක්.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී නිවාස රාමනුජානුත් අමන්ත ශ්‍රේණි සමීකරණ ලීවෙ කාලි දෙවියන්ගෙන් වරමක් අරන් බන්.අඩුම තරමෙ man who knew infinite කියන චිත්තරපටියවත් බලපන්කො

      Delete
  11. awasana wigrahayedi MUKUTH NEHE THAMAI....... !

    ReplyDelete