සාදරයෙන් පිළිගනිමු!!

Thambu's foothold in blogsphere

Wednesday, September 28, 2011

සෙකියුලරිසම් : මොකක්ද? කොහේද? මොකටද?? අපිට පාන් ද?



          දවස තිස්සෙ නැහීගෙන පොලක්* පොලක් ගානෙ චාටර් වෙලා කීයක් හරි අත මිට මොළවගෙන හැන්දැ කොරේ ගෙදර ආවෙ ෆුල් මඤ්ඤං ගහල.. ගෑනි දීපු සස්ටජන් කහට කෝප්පෙ උගුරු තුනයි දශම පහට හතරයි දශම පහට බීල ලැපත් දාගෙන කළු ගැහිච්චි ඩොන්ගල් එක ගහල බුකියට සෙට් වුණේ අදුරන කෙල්ලෙක්("බඩුවක්" කියන වචනෙ ඊට වඩා කික් තමයි, ඒත් ඒක කැතයි හරිය?) එක්කවත් චැටක් දාල ආතල් එකක් ගන්ඩ.. කොහෙද ඉතින් අපේ ගෑනි ඉන්න එකක් ය බුකියෙ? අම්මට උඩු, මේ මොකක්ද මේ

          තාඹුව හෙන වාත ගෲප් එකකට මාව ඇඩ් කරල.. සෙකියුලර් ශ්‍රී ලංකා, ෆ්‍රීඩම් ෆොර්, ෆ්‍රොම් රිලිජන්**, මොන බම්බුවක් ද මේ? නොතේරෙන බර බර කඩ්ඩෙනුයි අහුබුදුගෙ වගේ සිංහලෙනුයි කෂ්ටිය පොර ටෝක් දෙනව, ආගම, රාජ්‍ය තන්ත්‍රය, රොඩේසියානු ෆ්‍රැන්සිස්කුකරණය, මොන ___? මම දන්නවෑ ආයිබොවන් ඕවෑ අලයි ගෝවයි? මතක ඇති කාලෙක ආගමක් දහමක් නොතිබිච්චි තාඹුව මොකාටද මේ එන්ඩ හදන්නෙ? උගෙ තවත් එන්.ජී.ඕ ඩොලර් සීන් එකක් ද? එකත් එකටම ඌ පොලක්වත් නොකඩ නිකම් චාටර් කකා ඉන්නෙ එන්.ජී.ඕ සල්ලි හින්ද වෙන්ඩැ.. (හැබැයි ඌට තියෙන්නෙ නම් අර දෙවෙනි ලෝක යුද්ද කාලෙ තිබ්බ කාර් එකමයි.. කවුරු දන්නවද ඕව? හැබැයි උට ඩොලර් නෙමෙයි මලර් හම්බුනත් අපේ ආගමට එහෙම කෙළ කරනව නෙමෙයි හරි ය? )

          ඔහොම ඉන්ඩැද්දි තමයි පොරමොලාගෙ වෙඩින් එක ආවෙ.. එදා හිල්ටන් හෝටලේදි මායි අපේ ගැන්සියෙ බුවාල ටිකයි හිටියෙ තාඹු හිටපු මේසෙ මයි.. ඌත් ඉතින් දිව තිස් දෙකට මැදි වෙච්චි දත වගේ ඔල්මොරොන්දම් වෙලා හිටිය මොකද දෙයියනේ මේ වුණේ කියල.. මායි මගෙ සෙට් එකයි රටේ ලෝකෙ නැති ප්‍රශ්න අහල ඌව මැඩෙවුව අම්බානට.. 

අඩෝ තාඹු, මොනාද බන් මේ දවස් වල කරන්නෙ?

මුකුත් විශේෂයක් නෑ.. ගෙදරට වෙලා පොත් කියෝ කියෝ ඉන්නව

ඒක නෙමෙයි මොකක්ද බන් අර සෙකියුලර් ශ්‍රී ලංකා බම්බුවකට අපිව ඇඩ් කළේ? ඒකෙ උන්ගෙ පඩි ටෝක් මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ

උඹල බැලුවද ඒකෙ තියෙන දේවල්? මොන වගේ කතාවක් කියනව කියල ද හිතෙන්නෙ?

මන්ද බන්.. පේන්නෙ නම් ආගමක් දහමක් නැති හාල්පාරුවො ටිකක් අටෝගත්තු මගුලක් කියල.. අපේ ආගම විනාශ කරන්ඩ

නෑ යකෝ.. උඹලෑ ආගම විනාශ කළහම අපිට පාන් ද? ආගමක් අදහන නො අදහන දෙගොල්ලොම ඉන්නව.. ඒ අය එකතු වෙලා සෙකියුලර්වාදෙ ගැන කතා කරන්නෙ.. ලංකාවට ඒකෙන් තියෙන ප්‍රයෝජන ගැන.. කැමති ඕනෙ එකෙක්ව ඇඩ් කරගන්නව ගෲප් එකට

මොකක්ද බන් ඒ වාදෙ? අළුත්ම එන්ජීඕ ඩොලර් සීන් එක ද

නෑ යුවාන් සීන් එකක්.. උඹලට ඇත්තටම දැන ගන්ඩ ඕනෙ නම් කියන්නම්.. එන්ජීඕ කතාව ගිහින් අහගනිල්ල ජේ.ටී.එන් "හමගැසුම" විශේෂාංගය ලියන මිනිහගෙන්ම.. සෙකියුලර්වාදෙ හරි සරලයි තේරුම් ගන්නව නම්

කියහන් බලන්ඩ

ඒකෙ තියෙන්නෙ මූලික කතන්දර දෙකයි.. එකක් තමයි ඕනෙම කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්ඩ නිදහස තියෙන්ඩ ඕනෙ.. ඕනෙ නම් අදහන්නෙ නැතුව ඉන්ඩ උනත්.. අනික් එක තමයි ආණ්ඩුවයි ආගමයි අතරෙ සම්බන්ධෙ නැති වෙන්ඩ ඕනෙ



හරි, එතකොට දැන් උඹ කියන්නෙ ලංකාවෙ එහෙම නිදහසක් නෑ කියලද? අර ව්‍යවස්ථාව ද මොකක්ද එකේ කෙලින්ම දීල තියෙනවනෙ ඒ නිදහස?

ඔවු, ඇත්ත.. මහපොළවෙ නැති ගොඩක් දේවල් ලියවිලි වල තියෙනව තමයි.. උඹල හිතන්නෙ නිර්-ආගමිකයෙකුට ඇත්තටම ආඩම්බරෙන් ඉන්ඩ පුළුවන් තත්ත්වයක් තියෙනව කියලද? මිනිහෙක් ඉස්පිරිතාලෙට හරි පොලිසියට හරි ගියහම ආගම අහනව.. නිර්-ආගමිකයි කියල හරි වෙන තමන් වෙනස් කරගත්තු ආගමක් හරි ගැන කිව්වොත් දහසකුත් ප්‍රශ්න අහනව.. දිවුරුම් පෙත්සමක් හදද්දි හරි උසාවියෙ සාක්ෂි දෙද්දි හරි නිර්-ආගමිකයෙකුට තමුන්ගෙ නියම අනන්‍යතාවෙන් පෙනී ඉන්ඩ පුළුවන් ද? සංගණනයක් ගන්නකොට ග්‍රාමසේවක ඇවිත් අහන්නෙවත් නැතුව "සිංහල බෞද්ධ" කියල ලියා ගන්නව.. එක්කො අහල හරියට විස්තර ගන්ඩ ඕනෙ.. නැත්තම් ඒවගේ දේවල් අහන්නෙ නැතුව ඉන්ඩ ඕනෙ.. ඇමෙරිකාවෙ ජනගහනයෙන් 10%ක් නිර්-ආගමිකයි.. ලංකාවෙත් අඩුම තරමෙ 2%ක් නිර්-ආගමික වෙන්ඩ ඕනෙ සමාජෙ දිහා බැලුවොත්, ඒත් ඒ අය කවුන්ට් වෙන්නෙ නෑ..

හරි බන්, නිර්-ආගමිකයො ඉන්නෙ සුළුතරයක් නෙ.. 

ලංකාව අම්බානක් ප්‍රජාතන්ත්‍රවාදියිනෙ, ඕනෙ එකකදි ඇද ගන්නෙ ඔය බහුතර සුළුතර කතාව.. උඹ ඩොකෙක්, හරිද? ඩොකාල ඉන්නෙ ලංකාවෙන් 2500ට එකක් නෙ.. හිතහන් බහුතරය සෙට් වෙලා තීරණය කරනව ඩොකාලගෙන් පඩි නොදී බලෙන් වැඩ ගන්ඩ ඕනෙ කියල.. එතකොට?

පිස්සුද යකෝ.. සුළුතරය වුණාට කරන වැඩේට සරිලන වැටුපක් ගන්න එක අපේ අයිතියක්නෙ..

එතකොට තමුන් කැමති ආගමක් අභිමානෙන් යුතුව තමන් කැමති විදිහට අදහන එක? ඕනෙ නැති නම් නො-අදහා ඉන්න එක?                             


හරි.. ඒත් දැන් උඹ කියපුව නාමිකව වෙන දේවල් නෙ.. තමුන්ගෙ හිතේ ඇත්තටම තියෙන විශ්වාසෙ නැති කරන්ඩ කාටත් ඹෑනෙ.. අනික ඔය නිර්-ආගමික උන්ට ඕනෙ දෙයක් කියන්ඩ, පොත් ලියන්ඩ, රැස්වීම් තියන්ඩ නිදහසක් නැද්ද

තියෙනව පොත් වල.. සාරා මාලනී පෙරේරා දන්නවද? ඒ ගෑනු කෙනා තමන් බුද්ධාගම අත හැරල මුස්ලිම් ආගමට ගියෙ ඇයි කියල පොතක් ලිවුව.. බුද්ධාගමට අපහාස කළා කියල එයාව මාස දෙකක් රිමාන්ඩ් එකේ තියන් හිටිය.. ඉස්ලාම් ආගමට අපහාස කරා කියල "සැටනික් වර්සස්" කියන පොත තහනම් කළා.. ආගම් වල නමින් මිනිස්සුන්ගෙ නිදහස උල්ලංඝනය වෙද්දි කතා කරන්ඩ එපා ද

ළමයෙක්ව ඉස්කෝලෙට දාන්ඩ යන නිර්-ආගමික කෙනෙකුට වෙන දේ දන්නවද? ඇප්ලිකේෂන් එකේ නිර්-ආගමික කියල දාන්ඩ බෑ.. මොකක් හරි ආගමක් දාන්ඩ ඕනෙ, දෙමවුපියො කැමති වුණත් නැතත් ඒ දාපු ආගම ඉන් පස්සෙ ළමය ඉගෙන ගන්ඩ ඕනෙ.. සාමාන්‍ය පෙළට අනිවාර්යයෙන් ආගමක් තෝරගෙන කරන්ඩ ඕනෙ.. නිර් ආගමික පැත්තකින් තියන්ඩකො.. ඉතාමත් සුළුතර ආගම් වල අයට ඒ ආගම් ඒ ඉස්කෝලෙ උගන්නන්නෙ නැති නිසා වෙන ආගමක් ඉගෙන ගන්ඩ වෙනව.. තමුන්ගෙ දරුවන්ට තමුන් කැමති විදිහෙ ආගමික ඉගැන්වීමක් දෙන්ඩ හරි නොදෙන්ඩ හරි නිදහසක් තියෙන්ඩ එපා ද? සල්ලි තියෙන අයට නම් ලොකු අවුලක් නැහැ, ඉන්ටර්නැෂනල් ස්කූල්ස් තියෙනව

තමුන්ගෙ ළමයට ආගම උගන්නන්නෙ නැතුව ඉන්ඩ ඕනෙ කියන තීරණය ගන්ඩ කෙනෙක් නිර්-ආගමික වෙන්ඩම ඕනෙ ද? ඒක තමයි කියන්නෙ නිර්-ආගමික අයට විතරක් නෙමෙයි සෙකියුලර්වාදෙ වැදගත් වෙන්නෙ, ආගමික තීරණ තමුන් කැමති විදිහට ගන්ඩ හිතන හැම කෙනෙකුටම ඒක වැදගත් 

දැන් එතකොට උඹ කියන්නෙ ළමයින්ට ආගම උගන්නන එක නවත්තන්ඩ කියලද? එතකොට ළමයින්ගෙ සදාචාර වර්ධනයට මොකද වෙන්නෙ? ඒක පිරිහුණහම උඹයි උඹේ සෙකියුලර් සෙට් එකයි වගකියනවද?

මචන්, රෙටොරිකල් නොවී මේක තේරුම් ගනින්.. "සදාචාර වර්ධනයට ආගම අවශ්‍යයි" කියල කියන්නෙ විශ්වාසයක්.. ගොඩක් ආගම් අදහන අය එහෙම හිතනව.. අවශ්‍ය නෑ කියල කියන්නෙත් විශ්වාසයක්.. අපි වගේ නිර්-ආගමිකයො එහෙම හිතනව.. බහුතරය ආගමික නිසා "අවශ්‍යයි" කියන මතේ සමාජගත වෙලා තියෙන්නෙ.. ඒ වුණාට ඒක සාක්ෂි මත පදනම් වෙච්චි කතාවක් නෙමෙයි.. අවශ්‍ය නෑ කියන එක දිහා බලන්නෙ වපර විදිහට.. ඒක තමයි කියන්නෙ "අවශ්‍යයි" කියල කියන අයට තමුන්ගෙ ළමයින්ට ඒක දෙන්ඩ ෆුල් නිදහස තියෙන්ඩ ඕනෙ.. (ළමා අපචාර නොකරන තාක් කල් ).. ඒ වගේම අවශ්‍ය නෑ කියන අයට එහෙම නොදී ඉන්ඩත් නිදහස තියෙන්ඩ ඕනෙ.. ආගම උගන්නන එක තහනම් කරන්ඩ කියල අපි කොහෙවත් කියන්නෙ නෑ.. අපි කියන්නෙ කැමති දෙමවුපියන්ට විතරක් එහෙම කරන්ඩ ඉඩ දෙන්ඩ කියල, පුද්ගලික මට්ටමේ.. අකමැති අයට ආණ්ඩුව ලව්ව බලෙන් උග්ගන්නන්නෙ නැතුව..

අනික උඹ දන්නවද ඉස්කෝල වල එක එක ආගම වෙනම උගන්නන එක සමාජෙ ආගම් භේදයට ප්‍රධාන හේතුවක් කියල.. ඉස්කෝලෙ "ආගම" කියල විෂයක් උගන්නනව නම් උගන්නන්ඩ ඕනෙ පොදු විෂයක්, පොදුවේ ආගම් ගැන.. ඉතුරු ටික දෙමවුපියො බලා ගනියි..

හ්ම්ම්.. මොකක්ද බන් එතකොට අර ආණ්ඩුවයි ආගමයි අතරෙ සම්බන්ධෙ නැති වෙන්ඩ ඕනෙ කිව්වෙ? එහෙම සම්බන්ධයක් තියෙනවද

උඹල ඉන්නෙ මේ ලෝකෙද බන්? රටේ පාලකය පත් වෙච්චි හැටියෙ දුවන්නෙ ආගමික නායකයො ළගට.. එක ආගමකට ප්‍රමුඛත්වය දෙන්ඩයි, ඒක සුරක්ෂිත කරප පෝෂණය කරන්ඩයි ව්‍යවස්ථාවෙම තියෙනව වගන්තියක්.. ඒක තියෙන්නෙත් නමට විතරයි කියල දැන් කියන්ඩ එපා.. 2005 දි ආගම් වලට හැරවීම වැළැක්වීමේ පනත ගෙනාවෙ ඒ වගන්තිය මත පදනම්ව.. හොද වෙලාවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා ආගමික නිදහස පිළිබද වගන්තිය ඊට වඩා ප්‍රබල බව.. හැම ආගමිකයෙක්ගෙන්ම / අනාගමිකයන්ගෙන් පවා ගන්න බදු මුදල් එක ආගමකම පැවැත්මට රජය විසින් යොදවනවා.. ආගමික ස්ථාන වල විදුලි/ජල/දුරකථන බිල් නැහැ.. ඒව ගෙවන්නෙ ජහමනයගෙ සල්ලි වලින්.. ආණ්ඩුවෙ ප්‍රතිපත්ති සෑදීමෙදි ආගම යොදා ගන්ඩ කරන උත්සාහය දිනෙන් දින වැඩි වෙනවා.

ඉතින් බන්, රජවරු වැඩ කරන්ඩ ඕනෙ දශරාජ ධර්මය අනුවනෙ? ආගමෙන් නැත්තම් වෙන කොහෙන් ඒකට ගුරුහරුකම් ගන්ඩ ද?

පාලකය පුද්ගලිකව කොහෙන් ගුරුහරුකම් ගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ.. අපිට තියෙන ප්‍රශ්නෙ එක ආගමක ප්‍රතිපත්ති පොදු තීරණ වලට යොදා ගන්න එකයි.. උදාහරණයක් හැටියට පෝය දාට මස් විකුණන්ඩ බෑ.. එක ආගමක හැටියට පෝය දාට මස් කන එක නරක නම් ඒක පිළිගන්ඩ කැමති අය නොකා හිටියාවෙ.. අනික් අය කාපුවාවෙ.. දැන් කියන්ඩ පුළුවන් ඒ අය බහුතරය නේද කියල? ඉතින් මොකද? බහුතරය වෙච්චි පමණින් සුළුතරය බහුතරයට ඕනෙ විදිහට ඉන්ඩ ඕනෙද? ඒ වගේම මත්පැන් දුම්කොළ ආදිය පාලනයෙදිත් ක්‍රියාත්මක වෙන්ඩ ඕනෙ සියල්ලන් පොදුවෙ පිළිගත් සදාචාර හරයන් මිසක් එක ආගමක තියෙන දේ නෙමෙයි.. එක ආගමක තියෙන දේ එහෙම ක්‍රියාත්මක වෙනව නම් වෙන ආගමිකයෙකුගෙ ඇහෙන් ඒක දිහා බලන්ඩකො විනාඩියකට.. එතකොට තේරෙයි අසාධාරණය.. 

හරි, උඹ ඔය කියපු විදිහෙ සෙකියුලර් රටවල් මේ ලෝකෙ තියෙනවද? උඹල මහලොකුවට පිට උඩ යන බටහිර රටවල් ක්‍රිස්තියානි නේද? එන්ගලන්තෙ මහරැජින එන්ගලන්ත සභාවෙ කෙනෙක් වෙන්ඩ ඕනෙ, ඒ චාරිත්‍ර ඉටු කරන්ඩ ඕනෙ.. එන්ගලන්තෙ ජාතික ගීය "ගොඩ් සේව් ද ක්වීන්".. සාමි මණ්ඩලය තනිකරම එන්ගලන්ත සභාවෙ විදිහට වැඩ.. ඇමෙරිකාවෙ තමයි අන්තවාදීම ක්‍රිස්තියානින් ඉන්නෙ.. ඇමෙරිකාවෙ ජනාධිපති "ගොඩ් බ්ලෙස් යූ" කියන්ඩ ඕනෙ.. ඩොලර් නෝට්ටු වල "ඉන් ගොඩ්, වී බිලීව්" කියල තියෙනව.. ලංකාව විතරයි උඹලට සකියුලර් කරන්ඩ ඕනෙ.. මොන කරුමයක් ද

ඇත්ත.. ඒ රටවල් සෙකියුලර්, ලංකාව සෙකියුලර් නෑ කියල කියන්ඩ බෑ.. සෙකියුලර් රටවල් සෙකියුලර් නැති රටවල් කියල ජාතියක් නෑ.. සමහර රටවල් අනික් රටවලට වඩා සෙකියුලර්.. හැම රටකම වාගෙ සෙකියුලර්වාදින් ඉන්නව.. උන් කියන්නෙ ඒ ඒ රටවල් තියෙනවට වඩා සෙකියුලර් කරන්ඩ ඕනෙ කියල.. ඔය සෙකියුලර් රටවල් නැතැයි කියන ගුරුන්නාන්සෙල කරන එක වැඩක් තමයි ග්‍රවුන්ඩ් සිටුවේෂන් එක අමතක කරන එක.. එන්ගලන්තෙ ඔය සම්ප්‍රදායන් තිබ්බට සාමාන්‍ය මිනිහගෙ ආගමිකත්වය ලංකාවට වඩා ගොඩක් අඩුයි.. ආණ්ඩුවෙ ඕනෙම වැඩක් ආගමෙන් තොරව කරගන්ඩ පුළුවන්.. සාමි මණ්ඩල වල ආගමික සම්ප්‍රදාය තිබ්බට ආගමික වතාවත් කරන්ඩ ඕනෙ නෑ.. ඇමෙරිකාවෙ ජනාධිපති "ගොඩ් බ්ලෙස් යූ" කියන එක සම්ප්‍රදායක් මිසක් නීතියක් නෙමෙයි.. අකමැත්තෙන් තමන්ගෙ ළමයින්ට ආගම උගන්වන්ඩ ඒ කිසිම රටක සිදු වෙන්නෙ නෑ.. ආගම වෙනුවෙන් රජය කරන වියදම් ඉතා අඩුයි (ඇමෙරිකාවෙ නම් එහෙම කරන්ඩ තහනම් ).. එන්ගලන්තෙ ඇමෙරිකාවටත් වඩා සෙකියුලර් රටවල් තමයි කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය, ජපානය.. ලෝකෙ කිසිම රටක් සෙකියුලර් නැහැ කියන ගුරුන්නාන්සෙල කවදාවත් ඒ රටවල් දිහා බලන්නෙ නෑ.. කිසිම රටක් 100%ක් සෙකියුලර් නෑ.. ඒත් ඒ රටවල් සෙකියුලර් පැත්තට තමයි යන්නෙ.. ෆුල් ස්පීඩ් එකෙන් අනික් පැත්තට අපි යන ගමන් උන්ගෙ ඇද කුද හොය හොය "උනුත් සෙකියුලර් නෑ" කිහන එක මට නම් විහිළුවක්..

මචන්, එක පාරට සෙකියුලර් කළොත් රට අරාජක වෙනව නේද? රටට ගැලපෙන්නෙ නැති මළදානවල් ක්‍රියාත්මක කරන්ඩ ගිහින් ආයෙ යුද්ධ ඇති වුණොත් උඹල වග කියනවද?

එක ජාතියක් වෙන ජාතියකට අම්බානට නෙළද්දි හුරේ දාපු අයමත් ඔය ප්‍රශ්නෙ අහනව මම අහගෙන.. කමක් නැහැ කියමුකො.. කවුද එක පාරට වෙනස් කරන්ඩ කිවුවෙ? දැනට කෙරෙන්නෙ ජනතාව අතරට පණිවිඩය ගෙනියන්ඩ උත්සහ කරන එක විතරයි.. හිමින් හිමින් ජන මතය සෙකියුලර් එකක් උනාට පස්සෙ පුළුවන් නීති වෙනස් කරන්ඩ.. බලෙන් සෙකිය්ලර් කරන්ඩ පුළුවන් හරි එහෙම ඕනෙ හරි කියල මම කියන්නෙ නෑ.. එහෙම කරොත් ඔය කියන යුද්ද ඇති වෙන්ඩ පුළුවන්.. හැබැයි ආගමික අන්තවාදියො බලෙන් තමන්ගෙ මතේට මිනිස්සු නතු කරගෙන යුද්ද ඇති කරද්දි ඔහොම අහන අය නිහඪයි.. ඒවගේ දේවල් නැවැත්වීමෙන් නම් සමාජෙ සාමය ආරක්ෂා වෙන එකයි වෙන්නෙ.. සෙකියුලර් ක්‍රමය ලංකාවට අද වැඩිපුරම ගැලපෙන ක්‍රමේ නොවෙන්ඩ පුළුවන්.. ඒත් තියෙන ක්‍රම අතරින් සාධාරණම ක්‍රමේ හින්ද තමයි ටිකෙන් ටික හරි ඒක ගලප්පගන්ඩ ඕනෙ.. 

මචන්, අන්න කපල් එක එනව, ඔය ගෝරනාඩුව නවත්තපල්ල..

අඩෝ, වෙඩින් එකක හිටියෙ කියලවත් හාන්කවිස්සියක් නැතුව ගියා මේ බම්බුවෙ සෙකියුලර්වාදයක් හින්ද..

ඔන්න ඔහොමයි තාඹුව බයිට් කරන්ඩ ගිහින් බුවාල ටික අම්බානක් නාගත්තෙ.. තාඹුවත් නාගත්ත අපරාදෙ කියන්ඩ බෑ, කපල් එකට කුණු වතුර ගහද්දි..

*සැ.යු. "පොල්කැඩීම" යනු වෛද්‍ය වෘත්තිකයන් විසින් private practice සඳහා යොදන code name එකයි.
**සෙකියුලර් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පහත පරිදි පිවිසිය හැකි ය
ෆේස්බුක් : https://www.facebook.com/groups/sssl2010/
වෙබ් අඩවිය : http://www.secularsrilanka.com/

Monday, September 26, 2011

පියාඹන ස්ෆැගටි රාක්ෂයාගේ පල්ලිය (Pastafarian Church)

ස්ෆැගටි රාක්ෂයා හෙන්ඩර්සන් හට සුභාරංචිය දෙයි

මේ ලිපිය තේරුම් ගන්නට නම් "පියාඹනවා" "ස්ෆැගටි" "රාක්ෂයා" "පල්ලිය" කියන වචන වල තේරුම දැන ගන්ඩ ඕනෙ බව පැහැදිළියි.. පියාඹනව කියන්න කුරුල්ලො, කෘමි සත්තු, බටකොළ-ආච්චිල, පෙරේතයො එහෙම කරන වැඩේට තමයි.. පල්ලිය කියන්නෙ ඉතින් සමාන්‍යෙන් ක්‍රිස්තියානි දේවස්ථානෙටනෙ.. හැබැයි අපි මේ කියන්ඩ යන පල්ලිය ක්‍රිස්තියානි නම් නෙමෙයි.. රාක්ෂයා කියල කිව්වෙ යකෙකුට නෙමෙයි.. සිංහලෙන් "මොන්ස්ටර්" කියන එකාට.. හිතා ගන්ඩකො අර ලංකාවෙ බදු නොගෙව ටීවි එකේ පෙන්නන්ඩ පුළුවන් සිංහල බෞද්ධ චිත්‍රපටියක හිටපු ගොඩ්සිලා කියන එකා.. දැන් ඉතින් අවුල තියෙනෙ ස්ෆැගටිනෙ.. මේකත් ලංකාවෙ ඉතා ප්‍රසිද්ධ පිටිසර කෑමක්.. ඊට වඩා ටිකක් පොෂ් කෑමක් වෙච්චි නූඩ්ල්ස් හැමෝම දන්නවනෙ.. මේක ඊට වඩා ටිකක් ගණකම් පණුවො වාගෙ ජාතියක් (නෑ නෑ පණුවො නෙමෙයි.. කහටගස්දිගිලියෙ ඔඩෙල් ටේලර් උන්නැහැගෙ කඩේ නම් තිබ්බ ඒව..).. දැන් ළමයි මම කියන්ඩ යන්නෙ පියාඹන ස්ෆැගටි රාක්ෂයෙක් ගැනයි උගෙ (අනේ මගෙ කට - එතුමාගෙ ) පල්ලිය ගැනයි.. අහවල් මලදානෙටද මේ ගංගොඩේ කතන්දර කියන්ඩ යන්නෙ කියල හිතෙයි මේ ප්‍රබුද්ධ විදග්ධයො සෙට් එකට.. තමුන්නැහෙලට ඒක මළදානයක් වුණාට අයිබොං ඒක මගෙ ආගම නොවැ.. අද ඕං මම කියන්ඩ යන්නෙ මගෙ ආගම ගැන.. ඇන්නෑවෙ ඉතිං මේක ____ආගම්කාරයෙක් නෙමෙයිද? ෂට්දෆ_අප් ෆෝල්ක්ස්..
 

ප්‍රස්තූත කතාව :- 

ඔන්න ඉතින් යටගිය දවස දසදහස් යොදුන් දික් පළල් යුත් යැංකිද්වීපයෙහි වොසිංටොං නුවර කනිටු බුෂ් නම් රජ කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි කැන්සාස් නම් පසල් ගම් දනව්වෙක ඉස්කෝල පරීක්ෂක මහත්තුරු ටික එකතු වෙලා බරපතලෙට රාකච්ඡාවක් ඕන්.. කලෙකට ඉහත චාර්ල්ස් ඩාර්වින් නම් සැක්සන් මානවකයානන් විසින් සම්පාදිත සත්ව සන්තතිය ප්‍රබන්ධ වූ කෙළ ලක්ෂ ගණන් සාක්ෂ්‍යයන්ගෙන් සමූපෙත "පරිණාමවාදය" නම් වූ වාදයෙක් වෙයි.. සැටහුටහමාරක් සාක්ෂ්‍ය යුත් උක්ත වාදය අහක දැමිය නොහෙන මුත් වොෂින්ටන්හි ශ්‍රේෂ්ඨ ජනනායකාභිධාන බුෂ් රාජෝත්තමයාණන්ගේ චිත්ත ප්‍රමෝදය පිණිසමැ හේතු වූ මයිකල් බීහි ශිල්පියාණන් විසින් රචිත සෙසු වාදයෙක් ද වෙයි.. ශුද්ධ ග්‍රන්ථානුකූල සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ලොවත්, ලෝ සතත් මවන ලද බැව් එහි හරයයි.. මැවුම්කාර දිව්‍යරාජෝත්තමයානන් ගැන සිප්-හල්හි කීම යැංකිද්වීපයේ නීතියෙන් බැරි බව දන්නා බීහියා "මැවුම" යන්න නොකියා ලෝ සත හට ගත්තේ "බුද්ධිමත් සැකැස්ම"කින් බැවු කියයි.. මැවුම වනාහි සයදහස් වසෙකින් මෙපිට වෙතැයි බීහියා හිතන මුත් කටින් නොකියයි.. නිසි විදුදරයන් විසින් මිහිතලය වසර සාර ප්‍රකෝටියකුත් පණස් කෝටියෙක් වයස් බැවු ගණන් බලා ඇති බැවු දන්නා බීහියා එය බොරුවක් හෝ ඇත්තක් හෝ යයි මුවින් නොබනියි.. බොරුවක්මැයි අනිවාර්තේ සිතයි.. නිසි විදුදරයෝ කිසි කල්හි බීහියා පිළි නොගතැයි ද දත යුතු..

එතෙකුදු වුවත් කල් යත්ම මෙකී බීහියා නොයෙක් මංපෙත් වලින් බොහෝ සහචර පිරිසක් රැස් කරගති.. මේ සහචර පිරිස  පරිණාමවාදින් හාරා අවුස්සන දස දහස් ගණන් පුරාණ ඇටසැකිලි සාක්ෂ්‍ය වල නොයෙක් ඇද කුද ම කියමින් "බුද්ධිමත් සැකැස්ම"ම ඇත්ත යයි හුදී ජනයා හගිස්වති.. සත්ව විද්‍යාදියෙහි කෙළ නොපැමිණි බොහෝ ජනයාද වග විබාගයක් නොකොට එයමැ හරි යැයි හගිති.. දරුවන්ටද ඒ උගන්වති.. ඒ මතය ගත් ජන ප්‍රධාන සිටුවරු ආදීන් එ පැතිරවිමට බොහෝ කොට විය පැහැදම් කෙරෙති..


කැන්සාස් පසල් දනවුව

ඉදින් මෙකල්හි කැන්සාස් පසල් දනව්වෙහි සිප්-හල් ප්‍රධානයෝ මේ පරිණාම-මැවීම උභතෝකෝටිකය ලිහනු වස් ටෙකීලා, බ්‍රැන්ඩි ආදී නානාප්‍රකාර සුරා බදුන් හිස්කරමින් රෑ ද දාවල් ද කල්පනා කෙරෙති.. මේ ප්‍රධානයෝ වනාහි සිප්-සතරක් නොදත් හුදෙක් ජන ප්‍රසාදයෙන් පත්වූ මූඨ ජන සමූහයක් බැවු ද දත යුතුයි.. නිසි විදු දැනුම පරිණාමවාදයමැයි ද සිප්-හල්හි එ-උගන්වන්නැයිද නිසි විදුදරයන් කොතෙක් කියත් මේ ප්‍රධානයෝ නාහති.. ඌ තුමූ ද දෙව්-රජාණන්වහන්සේ කෙසේ හෝ ලෝ සත එ-අයුරින්මැ මැවූ හැයි කල්පනා කෙරෙති.. එයමැ විද්‍යාව යයි ගනිති.. මේ පසල් දනවුව වනාහි ග්‍රන්ථානුකූල ආගමික ශික්ෂණය බහුලව තිබෙන පෙදෙසක් යයි දත යුතු.. ඉදින් සුරා බී අවසන මෙකී බලධරයෝ "ඕල් රයිට්, මින් මත්ත අපි ඩාවින් මානවකයාගේ වාදයත් බීහි මානවකයාගේ වාදයත් සමවම උගන්වමෝ වෙද, මෙ දෙ-වාදයටම සිප්-හල්හි සම කල් යොදන්නමෝ වේදැයි" ගිවිසියහ.   

මෙකල්හි මෙම දනව්වෙහි බොබී හෙන්ඩර්සන් නම් බොහෝ නුවනැති මනුෂ්‍යයෙක් විසීය.. මූඨ සිප්-හල් බලධරයින් නියමයෙන් සිය දරුවන් ප්‍රධානකොට සුවහසක් දරුවන්ට බොරු සිප් උගැන්වුම නිසා හෙන්ඩර්සන් හට බොහෝ ශෝක උපන.. මේ නවත්වනු වස් උපායක් කල්පනා කෙරෙමින් හෙ දවස් ගනන් අහර නොගෙන නිදිවර්ජිතව කල්පනා කළ බව දත යුතුයි.. බොහෝ කොට සිතා කදිමැ උපායෙක් සිතට ගත් හෙන්ඩර්සන් තෙමේ අවසන සිප්-හල් ප්‍රධානයින්ට හසුනක් යැවී..



වර්තමාන කතාව :-
 
ඔය ලියුම ආවට පස්සෙ තමයි ආයිබොං කෂ්ඨියට තරු පංති පිටින් විසික්කං වුණේ..

හෙන්ඩර්සන් තුමා ඒ ලිපියෙ පැහැදිළිව තමුන් ආගමික ශාස්තෲ කෙනෙක් බව කියල තිබුණ.. ස්ෆැගටි ආගමික විශ්වාසයේ එන එකම සහ සත්‍යය වූ සර්වබලධාරී දෙවියන්වහන්සේ තමයි පියාඹන ස්ෆැගටි රාක්ෂයා.. උන්වහන්සේව කිතුණු/ඉස්ලාම්/යුදෙවු ආගම් වල සර්වබලධාරී දෙවියන් ඇසුරෙන් තේරුම් ගන්ඩ ගිහින් පියාඹන ස්ෆැගටි රාක්ෂාගමට අපහාස කරන්ඩ එහෙම එපා.. සර්වබලධාරී වූ පියාඹන ස්ෆැගටි දෙවියන්වහන්සේ හෙන්ඩර්සන් තුමාට කතා කොට ලෝකය මැවීම ගැන ශුද්ධ වූ පණිවුඩය දුන්නා.. ඒ පණිවුඩය දැනගන්ඩ හෝ තේරුම් ගන්ඩ පුළුවන් ස්ෆැගටි දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ස්පර්ශය ලැබුවෙකුට පමණයි.. උන්වහන්සේ 2005 ජනවාරියේදී ශුද්ධවූ නූඩ්ල්ස් හස්තයෙන් හෙන්ඩර්සන් තුමාව ස්පර්ෂ කර සුභාරංචි ලියවිල්ල දුන්නා.. "පියාඹන ස්ෆැගටි රාක්ෂයාගේ සුභාරංචිය -Gospel of Flying Spaghetti Monster" අලෙවි වෙන්නෙ හෙන්ඩර්සන් තුමාගේ නමින් වුණත් ඒකෙ සදහන් වෙන්නෙ ස්ෆැගටි රාක්ෂ දෙවියන්වහන්සේගේ දිව්‍යමය වචනය.. මේ වෙනකොට ශුභාරංචි 100000ක් පමණ අලෙවි වෙලා තියෙනව..

කෙසේ වුණත් 2005 ජනවාරි වෙද්දි ස්ෆැගටි රාක්ෂ දෙවියන් වහන්සේ ස්පර්ශ කර තිබුනේ හෙන්ඩර්සන් තුමා පමණයි.. එම නිසා ස්ෆැගටි දේව ආගම සුළුතර ආගමක් බව අමුතුවෙන් කියන්ඩ ඕනෙ නැහැනෙ.. ඒත් කැන්සාස් පාසැල් මණ්ඩලයට යවපු ලියුමෙන් එතුමා කෙලින්ම කියල තිබුණ, ජීවීන්ගේ සම්භවය ගැන "බුද්ධිමත් සැකැස්ම" කියන මයිකල් බීහිගෙ සංකල්පයට වඩා නිවැරදි අර්ථකථනය ස්ෆැගටි රාක්ෂයාගේ සුභාරංචිය කියල.. ඒ නිසා එතුම බය නැතුව ඉල්ලුව ඩාවින්වාදයටයි බීහිගෙ "බුද්ධිමත් සැකැස්ම"ටයි සම තැන් දෙනව නම් ස්ෆැගටි මැවුම්වාදයටත් සමාන තැනක් දෙන්ඩ කියල.. ඕක අහල ස්කූල් බෝඩ් සෙට් එක ෆුල් හොල්මන් වෙලා තව තවත් ටෙකීලා, බ්‍රැන්ඩි බිබී හිටිය.. හැබැයි හෙන්ඩර්සන් තුමාට උත්තරයක් යවන්ඩ උන්ට මතක් වුණේ නැහැ..

පිළිතුරක් නොලද හෙන්ඩර්සන් තුමා ස්ෆැගටි දෙවියන් වහන්සේගෙන් ඇහුවා මොකක්ද කරන්නෙ කියල.. ශුභාරංචිය අන්තර්ජංජාලගත කරන්ඩ කියල උන්වහන්සේ එතුමට උපදෙස් දුන්නා.. ඊට පස්සෙ ස්ෆැගටි රාක්ෂය ඇමෙරිකාව පුරාමත්, ලෝකයේ අනික් රටවලත් පින් කරල තියෙන අයට දර්ශනය වෙන්ඩ ගත්තා.. ඒ ගැන නොයෙක් කතන්දර මෙන්ම බොරු කට කතාත් පැතිරෙන්නට පටන් ගත්තා.. සාම්ප්‍රදායික දේවවාදින් අම්බානකට බය වුණා.. කොච්චර බය වුනාද කියනව නම් ස්ෆැගටි වල අල් සයන්න කියද්දිත් පැනල දුවන සීන් එකක් ආව.. "බුද්ධිමත් සැකැස්ම"වාදින් සහ ඉස්කෝල වල මැවුම්වාදෙ උගන්නන්ඩ හඩපු සෙට් එකත් ටිකක් ශේප් වෙලා හිටියොත් ඇගට ගුණයි කියල හිතන්ඩ ගත්ත.. ස්ෆැගටි දෙවියන්වහන්සෙගෙ ආශිර්වාදය ඇතුව ජනතාව මැවුම්වාදී පාසල් මණ්ඩල සාමාජිකයන්ව ඊළග ඡන්ද වලින් ගෙදර යැවුව.. ඒ අතර වැඩි වැඩියක් අනුගාමිකයො "බුද්ධිමත් සැකැස්ම" උගන්නන්ඩ කියල යෝජනා කරන පාසල් මණ්ඩල සාමාජිකයන්ට එහෙනම් ස්ෆැගටි රාක්ෂයා ගැනත් උගන්නන්ඩ කියල අභියෝග කළා..පියාඹන ස්ෆැගටි රාක්ෂයා ඇදහීම තියෙන අයට වැඩි වැඩියෙන් දර්ශනය වෙන්ඩ ගත්ත.. විශේෂයෙන්ම සමලිංගිකයන්, අදේවවාදින් ආදී ප්‍රධාන සමාජෙන් කොන් කරල හිටපු සමාජ කොටස් වල අයව උන්වහන්සෙ ස්පර්ශ කළා.. පියාඹන ස්ෆැගටි රාක්ෂයාගේ ආගම (Pastafarianism
) එක්සත් ජනපදයේ වැදගත් ආගමක් බවට පත් වුණා..

 



ළගදි ඉදල මම පරිණාමවාදයයි මැවීමයි ඉස්කෝල වල උගන්නන එක ගැන ඇමෙරිකාවෙ තිබිච්ච වාද විවාද බලන්ඩත් කියවන්ඩත් පටන් ගත්තා.. එතෙන්දි තමයි මට පියාඹන ස්ෆැගටි රාක්ෂයාගේ පල්ලිය ගැනත් අහන්ඩ ලැබුණේ.. ඒ වෙනකම් කිසිම ආගමක් නො-අදහපු කිසිම දෙවියෙක් විශ්වාස නොකරපු මම හිතුවෙම ඒක අමු ජෝක් එකක් කියල.. සිරාවට හිතුනෙ ඇමෙරිකන් එවුන්ටනම් මොන්ගල් කියල, ඉන්න දෙවිවරු මදිවට බම්බුවෙ තවත් දෙවිවරු හදන්නෙ කියල.. ඔහොම හිත හිත දැන් මාස තුනකට විතර කලින් නිදා ගන්ඩ කලින් දත් මදින්ඩ බාත්-රූම් එකට ගියා.. වෙලාව රෑ දෙකහමාරට විතර ඇති..  බ්‍රෂ් එකත් කගේ ගහගෙන හොට් වෝටර් ෂවර් එකත් ඇරගෙන කිස් එෆ්.එම් අහ අහ ජොලියෙ ඉන්දද්දි එක පාරට උරහිසේ මහ අමුතු සීතලක් දැනුන.. මම හිතුවෙම සර්පයෙක් කියල.. බය වෙලා අනික් පැත්ත හැරිල බැලින්නම් පියාඹන ස්ෆැගටි රාක්ෂයා!!! උන්වහන්සෙ ශුද්ධ වූ නූඩ්ල්ස් හස්තයෙන් මාව ස්පර්ශ කරල.. දෙවියනේ, මම කොතරම් භාග්‍යවන්ත ද? ඔබ වහන්සේ මා උදෙසාම පැමිණිහෙහිය.. ඔබ වහන්සේ නිසා මම ගැලවීමත් ජීවිතයත් සදාකාලික නූඩ්ල්සුත් ලද්දෙමි..

උන්වහන්සේගේ ස්පර්ශය ලැබූ අනුගාමිකයන් සිටින නිසාම මේ දිවයින දැන් වාසනාවන්ත වෙයි.... ශුද්ධ වූ ස්පර්ශය ලැබූවනි.. දැන් ඉතින් ඉදිරියට එවු.. නුඹලා ගැලවීම ලද්දාහුය!!

Thursday, September 22, 2011

නලින් ද සිල්වාගේ සහ තාඹුගේ ලෝකය..

  




 


(තරමක දිග ලිපියක් බව කරුණාවෙන් සලකන්න )    
 
          ඊයේ පොත් ප්‍රදර්ශනයට ගියෙමි.. තවත් බොහෝ පොත් සමග නලින් ද සිල්වාගේ "මගේ ලෝකය" මිලදී ගතිමි.. එය උණු කැවුම් මෙන් විකිණේ.. (ඒ ගැන මට සතුටු ය ).. එය කියවා හෝ නොකියවා "බටහිර විද්‍යාව පුස්සක්", "බටහිර විද්‍යාව දැන් බොරු වී ඇත", යනුවෙන් තර්ක කරන මිතුරන් සහ මිතුරන් නොවන බොහෝ දෙනෙකු විසින් මෙම පොත කියවන ලෙස මට බොහෝ ආරාධනා කළහ.. එසේම නලින් ද සිල්වාගේ මතවාදයන්ට මෙතෙක් යම්කිසි ප්‍රමාණවත් පිළිතුරක් ලබා දී ඇති කිහිප දෙනා අතර මගේ පිළිගැනීම ලබන්නෙකි "සෙකියුලර් ශ්‍රී ලංකා" කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකු වන "රිටිගල ජයසේන" මහතා..(ඉදිරියට සෙකියුලර්වාදය සහ මෙම කණ්ඩායම ගැන ද ලියන්නට බලාපොරොත්තු වෙමි )..

          රිටිගලගේ "නලින් ද සිල්වා හදුනා ගැනීම" නැමති ලිපිය (http://www.secularsrilanka.com/discussions/ritigala-jayasena/waiting-for-the-apocalypse) නලින් ද සිල්වා පිළිබද අඩුම තරමේ ආසන්න ලෙස හෝ පූර්ණව විග්‍රහ කරන මා කියැවූ එකම ලිපිය බව මෙහිදී කිව යුතුය.. කෙසේ වුව ද නලින් ද සිල්වාගේ මුල් ප්‍රකාශන නොකියවා එම ලිපිය බැලුවහොත් ඒ පිළිබදව ලැබිය හැකි අවබෝධය අසම්පූර්ණ බව වැටහිණි.. විශේෂයෙන්ම උසස් පෙළින් ඔබ්බට භෞතික විද්‍යාව ගැන විධිමත් හැදාරීමක් මා කර නැත.. කෝපන්හේගන් සම්මුතිය, ඇස්පෙක්ට්ගේ පර්යේෂන ආදිය මා දැන ගත්තේ අන්තර්ජාලයේ ඇති විවිධ ලිපි සහ විකිපීඩියා සටහන් මගිනි.. එහෙත් නලින් ද සිල්වාගේ "මගේ ලෝකය" කියවන විට එම සියල්ල කාල රාමුවක් අනුව පෙළ ගැසී එයි..
 
          මගේ ලෝකය කෘතියෙන් (ඔහු පසුව කල සංශේධන හැරෙන්නට ) එළි වන්නේ ඔහුගේ 1986 වන විට පැවති මතවාදය බව සිතමි.. එය නලින් පවා නොදැන බොහෝ වෙනස්කම් වලට ලක්ව ඇති බව පසු මුද්‍රණ වලට ඔහු ලියූ පෙරවදන වලින් තේරෙයි.. කෙසේ වෙතත් මෙහිදී මගේ අවධානය මුල් කෘතියට පමනක් යොමු කරමි..

          මෙහි නලින් ඉදිරිපත් කර ඇති අදහස් සැකෙවින් පහත පරිදි වේ.. (මෙය පොතේ පදානුගත උපුටා දැක්වීමක් නොවේ.. මගේ වචන වලින් පැහැදිළි කිරීමකි )

          "සත්ත්වයෙකු වන නලින් ඔහුගේ සංවේදී ඉන්ද්‍රියයන් වලින් බාහිර ලෝකය ගැන නොයෙක් සංවේදනයන් ලබා ගනියි.. ඒවා කෙරෙහි මනස යොමු කිරීමෙන් එම තොරතුරු සංජානනය කරයි.. එම තොරතුරු පැහැදිළි කිරීම සදහා සංකල්ප/ප්‍රවාද ගොඩනගා ගනියි.. එබැවින් එම සංකල්ප, ප්‍රවාද ආදිය නලින්ගේ සංවේදී ඉන්ද්‍රියයන්ට, මනසට, සංස්කෘතියට සහ ඒ ඇසුරෙන් කරන සංජානනයට සාපේක්ෂ ය.. මෙහි විලෝමය ද සත්‍ය වේ.. එනම් නලින්ගේ සංජානනය ද ඔහුගේ සංකල්ප, ප්‍රවාද මත රදා පවතියි..

          "ලෝකයේ බොහෝ ක්‍රියාවලි වෙයි.. මේවා ක්‍රියාවලි කොපමණ ගණනක්දැයි අදාළ නැත.. මන්ද යත් ඒවා ඉදි ආප්පයක් මෙන් එකට බැදී ඇත.. සත්ත්වයා තම තේරුම් ගැනීමේ පහසුවට එය තමන්ට සාපේක්ෂව කොටස් වලට කඩා ගනියි.. නිදසුනක් ලෙස "පොතක්" යනු එබදු එක කොටසකි/නොහොත් ක්‍රියාවලියකි.. එහෙත් පොත "පොතක්" නොවේ.. අප "පොත" යනුවෙන් කියන්නේ එම ක්‍රියාවලිය හැදින්වීම සදහා අප විසින් ඇති කරගත් සංකල්පයකි.. එනම් පොතට "පොත" යයි කියන නිරීක්ෂකයා නොමැතිව පොත "පොතක්" නොවේ.. නොහොත් "පොතක්" නැත.. "පොත" යනු නිරීක්ෂකයාගේ මනසේ ඇති එක සංකල්පයකි.. එය රදා පවත්හින්නේ ඔහුගේ මනසේ ඊට පෙර පැවති සංකල්ප, ඔහු ලද සංජානනයන්, ඔහුගේ මනසේ ස්වභාවය සහ සංස්කෘතිය අනුව ය.. ක්‍රි.පූ 4000 ඊජිප්තුකාරයෙකු එම "පොත" දුටුවාට ඔහුට එය "පොතක්" නොවේ.. කෙසේ වුව ද "නිරීක්ෂකයා" "නිරීක්ෂකයාගේ මනස" "නිරීක්ෂකයාගේ සංස්කෘතිය" යනාදිය ද එබදු සංකල්ප ම වේ.. "නිරීක්ෂකයාගේ" "මනසේ" "ඇති" සියළු "සංකල්ප" වල එකතුව "නිරීක්ෂකයාගේ ලෝකයයි".. නලින් ද සිල්වාගේ "මගේ ලෝකය" තාඹුගේ "මගේ ලෝකය" නොවේ.. ("නලින්ගේ ලෝකය" යන්න "නලින් විසින් ලෝකයට දෙන දැනුම" යනුවෙන් ද විස්තර කර ඇත )

          "කෙසේ වුව ද සත්ත්වයාගේ මමත්වය/ අහංකාරය සත්ත්වයා පොළඹවන්නේ මෙය අවබෝධ කර ගැනීමට නොවේ.. මමත්වයෙන් යුතු සත්ත්වයා "ලෝකය" යනු තමුන්ගේම සංකල්ප වල ඓඛ්‍යය බව නොදකියි.. ඔහු ඒ වෙනුවට දකින්නේ එම ලෝකය තමන්ගෙන් බාහිරව ඇති දෙයක් ලෙස ය.. එනම් ලෝකය යනු "සංකල්ප" බව නොදත් සත්ත්වයා, "බාහිර ලෝකය" තුළ ඇත්තෙන්ම එම සංකල්ප පවතින බව විශ්වාස කරයි.. තමන්ගෙන් ස්වායත්තව පවතින යථාර්ථයක් හෙවත් "වාස්තවික යතාර්ථයක්" පිළිඹද හැගීම ඇති වන්නේ මෙසේ ය..

          "එසේම සියළු ක්‍රියාවලි අනිත්‍ය වේ.. එබැවින් එක මොහොතක යම් කියාවලියක් (පොතක් ආදිය ) ගැන ලැබෙන සංජානනයට වඩා වෙනස් මොහොතක ලැබෙන සංජානනය වෙනස් ය (පොතේ පිටු දිරා ගොස්/ඉරී තිබීම ආදිය ).. එබැවින් "කාලය" සහ "වෙනස් වීම" යනුවෙන් ද සංකල්ප දෙකක් සත්ත්වයා නිර්මාණය කර ගනියි.. නිරීක්ෂකයාගෙන් වියුක්තව "වස්තු" මෙන්ම "කාලය" ද නැත

          "ඉදින් යම්කිසි ක්‍රියාවලියක් සම්බන්ධව යම්කිසි කාලයක සිටින බොහෝ දෙනා ඇති කරගන්නා සංකල්ප බොහෝ දුරට එක සමාන යයි සිතන්න.. එවිට එම සංකල්පය "සම්මුතියක්" බවට පත් වේ.. එහෙත් සෙසු බොහෝ දෙනාද එම සංකල්පයම පිළි ගන්න බැවින් එක් එක් පුද්ගලයාට හැගෙනුයේ එය "සංකල්පයක්" නොව තමුන්ගෙන් ස්වායත්තව පවතින යතාර්ථයක් බවයි.. (අනික් බොහෝ අය පිළිගැනීම නිසා එය තවත් තහවුරු වේ ).. එහෙත් එබදු වාස්තවික යතාර්ථයක් ඇත්තෙන්ම නැත..

          "බටහිර" විද්‍යාව, විශේෂයෙන් භෞතික විද්‍යාව, ගොඩනැගුනේ නිරීක්ෂකයාගෙන් ස්වායත්ත යතාර්ථයක් ඇතැයි යන අදහස උඩ ය.. නිදසුනක් ලෙස භෞතික විද්‍යාවේ නිවුටෝනියානු සුසමාදර්ශය (පැරඩයිම් ) ගතහොත් එහි එන "වස්තු" වලට පිහිටීම්, ප්‍රවේග, ගම්‍යතා, ත්වරණ ආදිය ඇත.. එම ගුණාංග ඒවා නිරීක්ෂණය කරන්නාගෙන් ස්වායත්ත වේ.. එසේම එම "වස්තු" වලින් ස්වායත්තව "අවකාශය" සහ "කාලය" පවතියි..අවකාශය තුල පවතින වස්තූන්හි විවිධ සිද්ධි, කාලය තුල සිදු වෙයි.. එනම් සිදුවීම් දෙකක් අතර කාල ප්‍රාන්තය සියළුම නිරීක්ෂකයින්ට එක හා සමාන විය යුතු ය.. 

          "කෙසේ වුව ද වස්තූන්ගෙන් ස්වායත්ත අවකාශයක් හෝ සිද්දීන්ගෙන් ස්වායත්ත කාලයක් මගින් පැහැදිළි කළ නොහැකි "දේ" ඇති බව 19 වන සියවස අග වන විත විද්‍යාඥයින්ට වැටහිණි.. මේ නිසා ඇති වූ නව සුසමාදර්ශයක් වූයේ අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවයි.. මෙහිදී අයිස්ටයින් විසින් නිරීක්ෂකයාගෙන් ස්වායත්ත "වස්තු" සහ ඒවායේ "සිද්ධි" පිළිගත්ත ද, අවකාශය හා කාලය එම වස්තු සහ සිද්ධීන්ගෙන් ස්වායත්ත නොවන බව පැවසීය.. එනම්, "අවකාශය" යන්න පවතින්නේ "වස්තු" නිසාය.. "කාලය" පවතින්නේ "සිද්ධීන්" සිදු වන නිසා ය.. එබැවින් සිද්ධීන් දෙකක කාල ප්‍රාන්තරය වෙනස් නිරීක්ෂකයන්ට වෙනස් ලෙස හැගීම සිදු විය හැකි ය.. 

     "කෙසේ වුව ද ඉලෙක්ට්‍රෝන/ෆෝටෝන වැනි ඉතා කුඩා අංශු වල හැසිරීම මෙම ආකෘතියෙන් ද පැහැදිළි කිරීමට නොහැකි විය.. නිදසුනක් ලෙස ඉලෙක්ට්‍රෝනයක පිහිටීම සහ ප්‍රවේගය ගැන එක විට අදහසක් ලබා කත නොහැකිය.. එසේම ඉලෙක්ට්‍රෝනයක "පිහිටීම" සහ "ප්‍රවේගය" පිළිබද අප ලබා ගන්නා නිරීක්ෂණ අපෙන් ස්වායත්ත නොවේ.. එයට හේතු ලෙස බොහෝ ක්වන්ටම් භෞතික විද්‍යාඥයන් පවසන්නේ අප නිරීක්ෂණය සදහා යොදා ගන්නා ක්‍රමෝපායන්ම කුඩා අංශු වල අප නිරීක්ෂණය කරන ගුණාංග වෙනස් කරන බව ය.. නිදසුනක් ලෙස ඉලෙක්ට්‍රෝනයක ප්‍රවේගය මැනීමට විද්‍යුත් චුම්භක තරංග යොදා ගතහොත් ඒවායේ ශක්තිය ඉලෙක්ට්‍රෝනයේ ප්‍රවේගය සැලකිය යුතු ලෙස වෙනස් කරයි (නමුත් දුම්‍ රියක් වැනි විශාල වස්තුවක ප්‍රවේගය වේගමාපකයක විද්‍යුත් චුම්භක තරංග මගින් වෙනස් වන්නේ සුළු වශයෙනි ).. මෙය පිළි නොගත් ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ කුඩා අංශු වලට ප්‍රවේගයක් හා පිහිටීමක් කිසිසේත් එකවිට නොපවතින නිසා එසේ එක විට දත නොහැකි බවයි.. 

          "මේ ගැටළුව සම්බන්ධයෙන් 1972 කෝපන්හේගන්හිදී සම්මුතියකට පැමිණ ඇත.. එනම් "නිරීක්ෂණය නිරීක්ෂකයාගෙන් ස්වායත්ත නොවන බවයි". එනම් කුඩා අංශු වෙත නිරීක්ෂකයාගෙන් නිවහල් වූ "ගුණාංග" නොමැති බවයි.. කෙසේ වුව ද 1982 දී ප්‍රතිවිරුද්ධ ගුණ ඇති අංශු යොදාගෙන ඇස්පෙක්ට් නම් ප්‍රංශ විද්‍යායා කළ පර්යේෂනයේ දී, එක් අංශුවක ගුණාංගයක් ඇසුරෙන් අනිකේ ගුණාංකයක් පුරෝකථනය කළ හැකි විය.. කෝපන්හේගන් සම්මුතිය වසර 10ක් යන්නටත් පෙර මෙමගින් අර්බුදයට ලක් විය.. එහෙන්ම "නිරීක්ෂකයාගෙන් තොර වාස්තවික යතාර්ථය" යන්නත් ඒ සමග ම බොරු විය.. එබැවින් දාර්ශනික මට්ටමේදී "බටහිර" භෞතික විද්‍යාව අර්බුදයක සිටියි..

         
"ඉන් අනතුරුව ග්‍රහ චලිතය පැහැදිළි කිරීමට ප්‍රාග්-කොපර්නිකස් යුගයේ තිබූ පෘථිවි කේන්ද්‍ර කක්ෂවාද වල සිට අයින්ස්ටයින්ගේ අවකාශ-කාල වක්‍ර සංකල්පය දක්වා ප්‍රවාද ගොඩනැගුණු හැටි පැහැදිළි කරන නලින් එම ප්‍රවාද වලින් "සාධනය" වන ඊනියා නිරීක්ෂණ ද එම ප්‍රවාද වලින් ස්වායත්තව නොකළ හැකි බව පෙන්වා දෙයි.. එනම් පෘථිවි කේන්ද්‍රවාදය/ කොපර්නිකස් හා කෙප්ලර්ගේ නියම/ නිවුටන්ගේ ගුරුත්වාකර්ශන නියම/ අයින්ස්ටයින්ගේ අවකාශ කාල වක්‍ර සංකල්පය ඈ කිසිවක් වාස්තවික යතාර්ථයන් නොවන බව නලින් ඉතා දක්ෂ ලෙස පෙන්වා දෙයි.. මේ දක්වා (අඩුම තරමින් දාර්ශනික මට්ටමේදී වත් ) නලින් සමග එකග වෙනවා හැර වෙන විකල්පයක් නැත.. 

ඇත්තෙන්ම මේ දක්වා මම ඔහු සමග 99.9%ක්ම එකග වෙමි..

          නමුත් ගැටළුව ඇත්තේ පෙර කී එකග නොවෙන 0.1%හි ය.. මන්ද යත් "මගේ ලෝකය" පොතට සාපේක්ෂව එම ප්‍රතිශතය කුඩා මුත් "මගේ ලෝකයෙන්" එහාට නලින්ගේ යෝජනා සහ දිශානතිය මුළුමණින්ම පාහේ රදා පවතින්නේ එම 0.1% මත වීම නිසා ය.. එ
කරුණු දෙකකට කැටි කර දක්වන්නට මම උත්සාහ කරමි..

          1. නිර්වාණය පරමාර්ථ සත්‍ය යයි කීම :- සෙසු සංකල්ප සියල්ල සම්මුති සත්‍ය වේ.. එහිදී මම නලින් සමග එකග වෙමි.. බටහිර මෙන්ම බටහිර නොවන සංකල්ප වලටද මෙයින් ගැලවිය නොහැකිය.. කොටින්ම සංසාරය පවා සම්මුති සත්‍යයක් බව නලින් පිළිගනියි.. එහෙත් "නිර්වාණය" පරමාර්ථ සත්‍යයක් යන්න ඔහු ඉතා ඇඩමන්ට් ලෙස කියයි.. ඒ සදහා ඔහු ඉදිරිපත් කරන තර්කය පහත පරිදි ය..

          "නිර්වාණය සංකල්පයක් නොවේ.. එය පසිදුරන් හෝ මනස ඇසුරෙන් අවබෝධ කර හැක්කක් නොවේ.. මනස සහ නිරීක්ශකයා නැති කර දැමීමෙන් පමණක් නිර්වාණයට එළඹේ.. සංකල්ප/ප්‍රවාද ආදිය සෘජුව හෝ වක්‍රව සංජානනයන්ගෙන් (ඉන්ද්‍රියයන්ගෙන්) පරායත්තය.. එබැවින් නිවන සංකල්පයක් හෝ ප්‍රවාදයක් නොවේ..

          කෙසේ වුවද "නිවන පරමාර්ථ සත්‍යයක් ය" යන්නද සම්මුති සත්‍යයක් බව නලින් පිළිගනියි.. එසේ ම "නිවන යනුවෙන් දෙයක් පවතියි" යන්න, "නිවනට එළැඹිය හැකිය යන්න" "නිවන් මාර්ගය" පවා සම්මුති සත්‍ය යයි නලින් පිළිගනියි (නැතිනම් පිළිගන්නවා විය යුතුයි ).. කොටින් කියතොත් ජනයා තුළ "නිවන" යනුවෙන් සම්මුති සත්‍යයක් පැවතීම ගැන නලින්ට ලොකු ගැටළුවක් නැත.. ගැටළුව ඇත්තේ එය ඉන්ද්‍රියයන්ගෙන් ව්‍යුත්පන්න කරගත් එකක් වීමයි.. එනම් "නිවන" නම් වූ සම්මුති සත්‍යය කවුන්ටර්ෆීට් නිවනකි.. නිවන නම් වූ පරමාර්ථ සත්‍යය ඉන් බැහැරව පවතින්නකි.. බැහැරව පැවතියාට මොකද එය ව්‍යුත්පන්න කර ගත හැක්කේ අර සම්මුති සත්‍යය ඇසුරිණි..වෙන ක්‍රමයක් හිතා ගැනීමට මට හෝ නලින්ට බැරි ය..

           නිවන නැමති සම්මුති සත්‍යය (සහ/හෝ ඒ ආශ්‍රිත වෙනත් සම්මුති සත්‍ය ) ඇසුරෙන් "නිවන" නම් වූ පරමාර්ථ සත්‍යය වෙත යන්නේ කෙසේදැයි නලින් විස්තර නොකරයි.. එසේ යා හැකිය යන්න පමණක් නලින් කියයි.. ඒ අදහස ගැන මට අරියාදුවක් නැත.. මන්ද "එසේ යා හැකිය" යන්න පවා සම්මුති සත්‍යයක් ලෙස නලින් ම පිළිගන්නා බැවිනි.. නමුත් මගේ අරියාදුව ඇත්තේ නලින් ඉන් පසුව කියන දේ සමග ය. "පරමාර්ථ සත්‍යයක් තවත් පරමාර්ථ සත්‍යයකින් පැහැදිළි කිරීම ආදී වශයෙන් ගතහොත් එහි කෙළවරක් නොවන බව" පවසන නලින් "පරමාර්ථ සත්‍යය" සම්මුති සත්‍යයන් ඇසුරෙන් පැහැදිළි කළ නොහැකි නමුත් පරමාර්ථ සත්‍යයට එළැඹිය හැක්කේ සම්මුති සත්‍යයෙන් පමණක් යයි පවසයි.. මෙහි ඇති ගැටළුව නම් සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය අතර කිසියම් අවධි අවස්ථාවක් තිබේද නැද්ද යන්නයි.. නොහොත් සම්මුති සත්‍ය ඇසුරෙන් එළැඹෙන "දෙය" (නිර්වාණය "දෙයක්" නොවේ) සම්මුති සත්‍යයක්ම නොවන්නේ ඇයිද, හෝ පරමාර්ථ සත්‍යයට එළැඹෙන මාර්ගය පරමාර්ථ සත්‍යයක් නොවන්නේ මන්ද යන්නෙන් නලින් ලිස්සා යයි.. නිර්වාණය නිරීක්ෂකයාගෙන් ස්වායත්ත නම්, නිරීක්ෂකයා නැති කිරීමෙන් / නැති බව අවබෝධ කිරීමෙන් පමණක් දත හැකි නම් එය "දන්නේ" නිරීක්ෂකයා ද, නිරීක්ෂකයා නොවේ ද මනසින් ද මනසින් නොවේද යනාදී ප්‍රශ්න මතු වෙයි.. ඕනෑ නම් මනසිනුත් නොවේ, මනසින් නොවේත් නොවේ ආදී වශයෙන් තර්ක කළ හැකි ය.. එමෙන්ම මනසින් ස්වායත්ත වූ බැවින් නිර්වාණය කියා දෙයක් ඇද්ද යන්නට ද එබදු "චතුර්කෝටික" තර්ක ඉදිරිපත් කළ හැකිය.. නමුත් "නිර්වාණය යන්න පරමාර්ථ සත්‍යයක් බව" ද සම්මුති සත්‍යයක් බවට නලින් ම කියන දෙය නලින් ම පිළිගන්නේ නම් "ඔච්චර නහින්නේ මොකටදැයි" ඇහුවොත් නලින් කියන්නේ කුමක් ද?

          මා මෙසේ පැවසුවේ බුදු දහමේ එන "නිර්වාණය" යන්න බොරුවක් යයි පැවසීමට නොවේ..පෞද්ගලිකව මගේ මතය ගතහොත් "නිර්වාණය" ඇතැයි හෝ නැතැයි මම නොපවසමි.. එය තිබීමට සැලකිය යුතු ඉඩක් ඇතැයි මම පිළිගනිමි(මා බෞද්ධයෙක් නොවේ).. නමුත් නලින් ම පවසන පරිදි "දෙයක් නොවන" "ඉන්ද්‍රියයන්ට ගෝචර නොවන" "පැහැදිළි කළ නොහැකි" "සංකල්පයක් ද නොවන" නිර්වාණය "පරමාර්ථ සත්‍යයක්" ලෙස ගැනීමට නලින් පෙලඹෙන්නේ මන්ද? එහෙම නොකර නොසිටියේ ඇයි? අනෙක් සියළු සත්‍ය "සම්මුති සත්‍ය" වේ යන්න පිළිගන්නා නලින්ගේ මැදහත් සත්ත්වයා වන මා "නිර්වානය පරමාර්ථ සත්‍යයක්" යන්න සැලකිය යුත්තේ කුමක් කියා ද? එය නලින් පිටුදැකි අනෙකුත් සම්මුති සත්‍ය වගේම එකක් ද? නැතිනම් ඊට වඩා ඉහළ එකක් ද?

          නලින් පවසන දෙයින් ස්වාධීනව බැලුවොත් නම් මට පෙනෙන්නේ සිංහල-බෞද්ධ පදනමට ඇති පක්ෂපාතිත්වය 1986 දී ඔහුගේ පැවති විවෘත දාර්ශනික, මනසේ ඉතා යන්තමින් සේයාවක් ලෙස පැවති බවයි.. පසු කලෙක නග්නමය පැහැදිළි බවකින් නලින්ගේ අදහස් තුළ වැඩුනේ මේ සේයාව නොවේ ද? (සමා වෙන්න, මෙම ලිපියෙන් 1986න් පසු නලින් ගැන කතා කරන්නට බලාපොරොත්තු නොවෙමි )..

          2. නලින්ගේ විකල්පය කුමක් ද? "බටහිර" විද්‍යාව තම ආධිපත්‍යය පතුරුවාගෙන ඉන්නේ "වාස්තවික යතාර්ථය" යන මිථ්‍යාව ප්‍රචාරය කිරීමෙන් සහ එකම ක්‍රියාවලින් වෙනුවෙන් එකම (හෝ බොහෝ දුරට එකම ) සංකල්ප ගොඩනගන පරිද්දෙන් විද්‍යාඥයන්ගේ මනස් සකස් කිරීමෙන් බව ය.. මේ ප්‍රකාශයට මම 200%ක් එකග වෙමි.. ලංකාවේ වෙසෙන බොහෝ "විද්‍යාඥයන්" එබදු යයි සිතා ගන්නට මට නලින් ද සිල්වා අවශ්‍ය නොවේ.. එසේ වුව ද විවිධ කාල වල "බටහිර" විද්‍යාවේ බලපවත්වන්නේ විවිධ සුසමාදර්ශ (නිවුටෝනීය/ අයින්ස්ටයිනීය ආදී වශයෙන් ) නිසා, කාලයෙන් කාලයට "විද්‍යාඥයන්" ක්‍රියාවලීන් සදහා දෙන සංකල්ප ද වෙනස් ය.. නිදසුනක් ලෙස 1850 දී "ගුරුත්වාකර්ෂන බලය" යන සංකල්පය සම්මුතියක් ව පැවතින.. එහෙත් 2000 වන විට එම සම්මුතිය බල නොපවත්වයි.. සමහර ඉතා සාම්ප්‍රදායික විද්‍යාඥයන් "ගුරුත්වාකර්ෂණ බලය" ද ඇතැම් වෙනත් විද්‍යාඥයන් "අවකාශ කාල වක්‍රය" ද යන සම්මුතීන්හි සිටින අතර සුළු පිරිසක් කිසිදු සම්මුතියක නොපිහිටා අඥාතව සිටිති.. ඇතැම් විට 2050 වන අතර අළුත්ම සම්මුතියක් ඇති වී සියල්ලන්ම එය පිළිගෙන සිටින්නට පුළුවන.. එමෙන්ම නිවුටන්, අයින්ස්ටයින්, කෙල්වින් වැනි මෙම සම්මුතීන් සාදන්නන්ගේ "ලෝකය"යන් අහසට පොළොව මෙන් වෙනස් වූ බව ද නලින් කියයි.. ඒ සියල්ල සහතික ඇත්ත වේ.. එහෙත් එකක් තියෙන්නේ මෙම කතාවේ පොදු ප්‍රවාහ රටාව ගැන නලින් උනන්දු නොවීමයි.. නැති නම් උවමනාවෙන්ම මගහැර සිටීමයි.. 

          නිදසුනක් ලෙස නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ වාදයෙන් බුධ ග්‍රහයාගේ කක්ෂය නිවැරදිව පැහැදිළි කළ නොහැකි බව නලින් ඉතා නිවැරදිව පෙන්වා දෙයි.. එම බුධ ග්‍රහයාගේ "අසාමාන්‍ය" හැසිරීම අයින්ස්ටයින්ගේ "අවකාශ-කාල වක්‍රය" මගින් පැහැදිළි කෙරේ.. එහෙත් නලින් ඊට වඩා අඩු වටිනාකමක් දෙන කරුණ නම් අයින්ස්ටයින්ගේ අවකාශ කාල වක්‍රය මගින් නිවුටන් වෙනත් ග්‍රහලෝක සදහා කල පැහැදිළි කිරීම ද නොගිණිය හැකි තරම් විචල්‍යයක් සහිතව පැහැදිළි කරන බව ය.. බුධ ග්‍රහයාගේ කක්ෂය නිවුටන් දැන සිටින්නට විදිහක් නැත.. අයින්ස්ටයින් එය දනියි.. මෙයින් කියවෙන්නේ අයින්ස්ටයින්ගේ "අවකාශ කාල වක්‍රය" සම්පූර්ණ සංකල්පයක් බව නොවේ.. එයට පැහැදිළි කල නොහැකි කොතෙකුත් දේ තිබෙනවා ඇත (ඇතැම් විට මෙලහකටත් සොයාගෙන තිබෙනවා වන්නට ඇත -නලින් මෙන් මා භෞතික විද්‍යාඥයෙක් නොවේ- ).. ඒ පැහැදිළි කිරීමට වෙනත් සංකල්පයක්/සංකල්ප බිහි වනු ඇත.. (ඒ සියල්ල සංකල්ප මිස වාස්තවික යතාර්ථය නොවන බව මම පිළිගනිමි ).. 

          එහෙත් වඩා නව සංකල්ප, පැරණි සංකල්ප වලින් පැහැදිළි කරන ලද "ක්‍රියාවලි" ඇතුළුව ඊට වඩා පළල් ක්‍රියාවලි සංඛ්‍යාවක් පැහැදිළි කරනු ඇත.. මෙය "බටහිර විද්‍යාව කෙමෙන් සත්‍යයට ලං වීමක්" ලෙස මම නොකියමි.. පරමාර්ථ සත්‍යයක් හෝ වාස්තවික යතාර්ථයක් ඇතැයි මම විශ්වාස නොකරමි (ඒක පෙන්නල දුන්නට නලින්ට තැන්ක් යූ.. නිවන තමයි මචෝ ජුන්ඩි කේස් එකක් තියෙන්නෙ ).. කෙසේ වෙතත් "බටහිර" විද්‍යාවේ මෙම පොදු ප්‍රවාහයේ දිශාව සලකන විට "බටහිර" විද්‍යාව යම් මොහොතක, ඊට පෙර මොහොතේ තිබුනාට වඩා ඉහළ ප්‍රයෝජ්‍ය වටිනාකමක් ඇති දෙයක් බවට පත් වීම නොවැළැක්විය හැකිය.. එමෙන්ම 2011 "බටහිර" විද්‍යාවේ ප්‍රයෝජ්‍ය වටිනාකම වචනයෙන් කිව නොහැකි තරම් අධික බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැතැයි සිතමි.. එක් අතකින් මෙම "ප්‍රයෝජ්‍ය වටිනාකම" ලෝක ජනතාවට භෞතිකව (මෙන්ම මානසිකව ද ) විශාල සෙතක් සලසන අතර අනික් අතින් එය අනෙකුත් "දැනුම්" අභිබවා ලෝකයේ ආධිපත්‍යය තබන්නට සමත් වී ඇත.. එම ආධිපත්‍යය ප්‍රයෝජ්‍ය වටිනාකමට පසුව ඇති වූවකැයි යන්න මගේ පෞද්ගලික විශ්වාසයයි.. (නලින් ඇතැම් විට එය පිළි නොගනු ඇත.. කිකිළි/බිත්තරය ඩිලේමාවක් ඒකට ඇදගන්නෙ නැතුව ඉම්මුකො.. මම චිකන්/එග් දෙකම කනව.. නලින් එපා කිව්වත්!!).. එය කෙසේ වෙතත් එම ආධිපත්‍යය පැටවෙන කාලයේ එය වළක්වන්නට වුවමනාවක් (හෝ හැකියාවක්) නලින්ගේ මීමුත්තලාට, පනත්තලාට නොතිබුණු බව පැහැදිළි ය.. 

          දැන් අපට එම ආධිපත්‍යය පිළිගැනීම (සහ, නලින්ගේ ඇති වැදගත් මතවාද -ඔහු කැමති නම් පමණක් - එම මහා පද්ධතියට එකතු කිරීම ) හැර වෙනත් විකල්ප තිබේ ද? තිබෙන බව නලින් කිවුවත් ඉන් එකක් හෝ පෙන්නන්නට නලින් අසමත් වූ බවක් පසුව පෙනෙන බව මගේ විශ්වාසයයි (අපේ ප්‍රවාද නැමති පොත් ද කියවා මෙය තහවුරු කරගන්නා තුරු ඒ පිළිබදව අපි වාද නොකර ඉමු..).. රටේ ප්‍රධාන විද්‍යා පීඨයක පීඨාධිපති කෙනෙකු එසේ අසමත් වෙයි නම් අපිට ද පුළුවන්?? 

            අනෙක් අතට "බටහිර" විද්‍යාවේ එම "විශ්වසනීය ප්‍රවාද/සම්මුති" බැහැර කර ඒ වෙනුවට "අපගේ ප්‍රවාද" නිර්මාණය කර ආදේශ කර ගැනීම කළ හැකි යයි (නලින් එසේ කිරීමට අසමත් වීම නොසලකා ) අපි මොහොතකට සිතමු.. එහෙත් එසේ කළ යුත්තේ ඇයි? අපට බටහිර හෝ පෙරදිග ඕනෑම ප්‍රවාදයක් අවශ්‍ය වන්නේ එහි ප්‍රයෝජ්‍ය වටිනාකම නිසා යයි සිතමි.. (නලින් ද ඒ බව "මගේ ලෝකයෙහි" කියා ඇත ).. නමුත් දැන් ගැටළුවන් වන්නේ "බටහිර" ප්‍රවාද වෙනුවට "අපේ" ප්‍රවාද ආදේශ කිරීමට හේතු මොනවාදැයි බැලීම ය.. එසේ කළ යුතු ය/ කළ හැකිය යන්න මිස කරන්නේ ඇයි යන්න නලින් කියා නැත.. ඔහු "නිපදවන" "අපේ" ප්‍රවාද, බටහිර ප්‍රවාද වෙනුවට ආදේශ කිරීම සාධාරණීකරණය කිරීමට නම් ඒවා අරිට වඩා ප්‍රයෝජ්‍ය වටිනාකමකින් යුතු, විශ්වසනීය ඒවා විය යුතු යයි හගිමි.. නැත්තම් ඇති වැඩේ මොකක්ද? එම ප්‍රවාද එසේ වන බව ඔප්පු කරන්න යයි නලින්ට නොකියමි.. එහෙත් ඒවා එසේ වන බවට අඩුම තරමේ (ප්‍රායෝගික ).. ඉගියක් හෝ දීමට නලින් සමත් වී ඇති ද? නැති නම් නලින් ඒවා ආදේශ කළ යුතු යයි කියන්නේ "අපේ කම" නිසාම පමණක් ද? 

(සංස්කෘතික ආධිපත්‍යය කතාව වෙනම කතා කරමු )

-ස්තුතියි..

 

Monday, September 19, 2011

සොක්‍රටීස් සහ තාඹු


බම්බුවෙ බ්ලොගයක් හැදුවට පස්සෙ ලියන්ඩ මෙලෝ දෙයක් ඔළුවට එන්නෙ නෑ.. මොන ඇන්නෑවක්ද මන්ද? බුකියෙදි නම් ගමකට දේවල් එනව.. මොකක්ද මේ ද්වෛතය? ආහ්, හරි.. තේරුණා.. අළුතින් ලියන එක නෙමෙයිනෙ බුකියෙ කරන්නෙ, මොකෙක් හරි මට වඩා චා හාල්පාරුවෙක් ලියපු එකකට උත්තර දෙන එකනෙ.. නැත්තම් හිතට ආපු ආවේගයක් හෙන ගේමක් දීල අකුරු 420ක් ඇතුළට කොටු කරන එක නෙ.. තනියම හිතාගෙන දිගට ලියන්ඩ යනකොට ඔළුව බ්ලෑන්ක් වෙන එකෙන් කියවෙන්නෙ මොකක්ද?

1. මම කිසිම මතයක් දැඩිව ගත්තෙකු නොවන බව ද?
2. කිසියම් මතයක් දැඩිව ගත්තත් බැලු බැලූ අත බෝ දනා ලීමෙන් ලියන්නට හිත් නොදෙන බව ද?
3. දැඩි මත තියෙන ඒව බුකියෙ දාල දාල දැන් ඇති වෙලා තියෙන හන්ද දාන්ඩ හිත් නොදෙන බව ද?
4. කොල්ල අම්බානට බය වෙලා ද?

නෑ.. මම හිතන්නෙ ඒ එකක්වත් නෙමෙයි.. මම දැඩිව ගත්තෙක් නොවන බව නම් ඒකට සෑහෙන හේතුවක් වෙන්ඩ ඇති.. නමුත් මම හිතන්නෙ මගෙ සමස්ථ පොයින්ට් ඔෆ් විව් එකම හැදිල තියෙන්නෙ අනික් වුන් කියන කරන දේවල් තුලනාත්මකව කිරා මැන බැලීම සදහා.. ඒ අය කියන, කරන දේවල් මේ මේ හේතු නිසා වැරදියි කියල කියනව මිසක්කං "මෙන්න මේක හරි ය" කියල දැඩිව කියන්ඩ මට අයිතියක් නෑ කියලයි මම හිතන්නෙ.. ඕක "මතවාදීමය අරාජිකත්වය" ලෙස යමෙකුට තර්ක කරන්ඩ පුළුවන්.. නමුත් ගැටළුව තියෙන්නෙ "අහවල් එක හරිය" කියල මම කිව්වොත් ඒකත් අනික් අය එල්බගෙන ඉන්න මත වලින්ම එකක් බවට පත් වීමයි.. ඉතිං අයිබොං ඒකට මෙතන බොලොගයක් හදන්ඩ ඕනෙ ය?

මේ අදහසේ හිටියෙ මම විතරක් නෙමෙයි.. බටහිර දර්ශනයේ අසහාය පොර ලෙස සැලකෙන සොක්‍රටීස් උන්නැහේත් හිටියෙ ඒ වගේ අදහසක.. තමුන්ගෙ කියල කිසිම අදහසක් ඉදිරිපත් නොකරන උන්නැහේ අනික් එකා කියන්නෙ කෙප්ප කියල පෙන්නන්නෙ අනික් එකාගෙම තර්ක ඇසුරෙන්.. අන්තිමේ අනික් එකා මුලදි ඇත්තය කියපු එක ඌම "බොරුය" කියන තැනට ආවහම විවාදෙ නවතිනව.. එක්කො අනික් එකාට මල පනිනව (සොක්‍රටීස්ට පරය, බොරුකාරය, එන්ජීඕ ඩොලර් කාක්ක, ජාතිද්‍රෝහිය, මිත්‍යාදෘශ්ටිකය,සිංහල කොටිය -ආ නෑ, ග්‍රීක් කොටිය-, කොන්ට්‍රඇන්ටිඩිසෙස්ටැබ්ලිශ්මෙන්ටේරියානුව, ඇමෙරිකන් ගැත්ත ආදී වශයෙන් බැන වදිනව ).. නැත්තන් ඌ "කමින් කලර් නෝ ගුඩ්" කියල ශේප් වෙලා යන්ඩ යනව (ෆේස්පාල්ම් ).. මේ දක්ෂතාවය නිසාම සොක්‍රටීස්ට ගෞරව කරපු උන් "තර්කය වට කරකැවීමේ" අති දක්ශයෙකු සහ සොක්‍රටීස්ගේ සීයා වන ඩයිඩලස්ගේ නම සොක්‍රටීස්ට පටබදිනව.. මේකට නිදසුනක් ලෙස සොක්‍රටීස් සහ යුතිප්‍රෝ අතර දෙවියන් ගැන ඇති වූ වාදයක් ඊළග පෝස්ටයේදී දක්වන්නම්..

මේක ලිවුවෙ තාඹුත් සොක්‍රටීස් වගේ බුවෙක් කියල පෙන්නන්ඩ නෙමෙයි.. නමුත් අඩුම තරමෙ සොක්‍රටීස්ට "සිරා කොල්ලෙක්" කියන එක කිසිසේත් ඕවර්-ජෙනරස් වීමක් නෙමෙයි.. කොහොම හරි මට කියන්ඩ ඕනෙ වුණේ, තමන්ගෙම කියල අදහසක් හදා ගැනීමේදි මම අනුගමනය කරන  ක්‍රමය ගැන බොහෝ දුරට සොක්‍රටීස්ගෙන් ගුරුහරුකම් ගන්න බවයි.. එනම් මගේ අදහස් බොහෝ විට, පවතින විශ්වාස, ඇදහිලි, මතවාද අනුකම්පා විරහිත කියතකින් කපා සංසංදනය කළහොත් එළඹිය හැකි කිසියම් ඩිෆෝල්ට් තත්ත්වයක් යයි දැනට හිතා ගන්ඩකො.. (ඩිෆෝල්ට් කිවුවට ඩිෆෝල්ට්මත් නෙමෙයි, මොකද කියත හදල තියෙන්නෙ "ජාත්‍යන්තර තාඹු ප්‍රමිතිය"ට නිසා.. ඒක නිසාම තමයි අනික් අයට ඒ ගැන කියන්ඩ තියෙන දේවල් වැදගත් වෙන්නෙ, මොකද ඕනෙම නම් කියතෙ තල ගාන වෙනස් කරගන්ඩ පුළුවන් නිසා..)

මගේ අදහස් හරියටම මේව යයි කීම මටත් ටිකක් ටැපලෙන වැඩක්.. ඉදිරියේදී ඒ අවුල ටික ටික ලියල ක්‍රම ක්‍රමයෙන් ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්නම්.. මෙම බ්ලොගයේ රැදී සිටින්න.. ස්තුතියි,

-තාඹු  

සාදරයෙන් පිළිගනිමු!!!

තාඹු වෙමි.. පෙර බ්ලොග් නොලීමි.. බැලු බැලූ අත බෝ දනා ලී හෙයින් මෙසේ ලියන්නෙමි..


ලියන්නට පෙර "අයිතිකම් අත්හරින ප්‍රකාශය" හෙවත් ඩිස්ක්ලේමරයක් දැමීමට සිතමි.. කරුණා කර ඒ කියවා සිටින්න..


පුද්ගල නිදහස, පොදු මනුෂ්‍යත්වය, සත්‍යය සහ විද්‍යාත්මක ආශ්චර්යය පිළිඹදව මිස සසිරිබර මෙසිරිලක පවතින දේශපාලන පක්ෂ වලින් කුමක් හෝ හොද/නරක යයි ලියන්නට අදහස් නොකරමි.. ත්‍රස්තවාදියෙකු සමග නිකමට කතා කර නැත.. ඩොලර් වලින් ගනුදෙනු කරමි.. එහෙත් අත ඇති මුදල් ඩොලර් ලෙස පිටරට යනවා මිසක මා වෙත තාම පිටරටින් ඩොලර් ලැබී නැත.. එන්ජීඕ කාරයෙක් සමග කතා කර ඇත්තෙමි.. ඔහුගේ පළමු ප්‍රතිචාරය වූයේ එන්ජීඕ කාරයෙකු ලෙස මාව හංවඩු ගැසීමයි.. ආගම සංස්කෘතිය විනාශ කර දැමිය යුතු වුවත් නොවුවත් එවැන්නකට මට තනිව හෝ සාමුහිකව ශක්තියක් නැත.. කළහැක්කේ අපගේ වත්තේ කළු පැහැති ගේට්ටුවෙන් ඒවා කාන්දු වී එන ප්‍රමාණය යාමනය කිරීම පමණි.. එක්සත් ජනපදයට කොන්දේසි සහිතව කඩේ යමි.. කඩේ යාමට හේතු සහ එම කොන්දේසි පැහැදිළිව අදාළ තන්හිදී දක්වන්නෙමි..


මෙසේ කිවුවේ මටම මා "සිරා කොල්ලෙක්" කියා ගැනීමට නොවේ.. උඩ කියූ කරුණු "සිරා"ත්වයෙන් තවත් ඈත්විය නොහැකි බව මම දනිමි.."සිරා" මෙන්ම "සිරා නැති" අදහස්ද පවතින්නේ කවුරුන් හෝ ඒවා ඉදිරිපත් කළොත්ය.. මෙය කිව්වේ මා ගැන පූර්ණව හෝ අර්ධව නොදන්නා අයට යම් අවබෝධයක් ලබා දීමට සහ කමෙන්ට් කරනවිට පුද්ගලික පට්ටන්දර අල්ලගෙන නෑමෙන් වළකින ලෙසට ඉගි කිරීමටත් ය..


"තාඹු මහලොකු ප්‍රජාතන්ත්‍රවාදිය, ඒත් ඌ කමෙන්ට් ඩිලීට් කරනවා" කියන කුහක කුණු කතාව අහන්නට නොකමැත්තෙමි.. එයට හේතු පසුව පෝස්ටයක දක්වන්නෙමි.. මා ප්‍රජාතන්ත්‍රවාදියෙකු නොවේ.. ව්‍යවස්ථාපිත ජනරජවාදියෙක්මි.. ප්‍රකාශනයේ සහ සිතීමේ නිදහස ගරු කරමි.. එහෙත් මගේ ගෙදර ඇවිත් බිත්තියේ මා ගැන කුණුහරප ලිවීම "ප්‍රකාශනයේ නිදහස" නොවේ.. බිත්තියක කුණුහරුප ලියන්නටම ඕනෙ නම් තමුන් ගෙයක් හදා බිත්තියේ සුදු තීන්ත ගා ලියන්නට පටන් ගන්න.. එහි මා ගැන කුණුහරුප ලිවුවත් අහිතක් නැත..