සාදරයෙන් පිළිගනිමු!!

Thambu's foothold in blogsphere

Wednesday, September 28, 2011

සෙකියුලරිසම් : මොකක්ද? කොහේද? මොකටද?? අපිට පාන් ද?



          දවස තිස්සෙ නැහීගෙන පොලක්* පොලක් ගානෙ චාටර් වෙලා කීයක් හරි අත මිට මොළවගෙන හැන්දැ කොරේ ගෙදර ආවෙ ෆුල් මඤ්ඤං ගහල.. ගෑනි දීපු සස්ටජන් කහට කෝප්පෙ උගුරු තුනයි දශම පහට හතරයි දශම පහට බීල ලැපත් දාගෙන කළු ගැහිච්චි ඩොන්ගල් එක ගහල බුකියට සෙට් වුණේ අදුරන කෙල්ලෙක්("බඩුවක්" කියන වචනෙ ඊට වඩා කික් තමයි, ඒත් ඒක කැතයි හරිය?) එක්කවත් චැටක් දාල ආතල් එකක් ගන්ඩ.. කොහෙද ඉතින් අපේ ගෑනි ඉන්න එකක් ය බුකියෙ? අම්මට උඩු, මේ මොකක්ද මේ

          තාඹුව හෙන වාත ගෲප් එකකට මාව ඇඩ් කරල.. සෙකියුලර් ශ්‍රී ලංකා, ෆ්‍රීඩම් ෆොර්, ෆ්‍රොම් රිලිජන්**, මොන බම්බුවක් ද මේ? නොතේරෙන බර බර කඩ්ඩෙනුයි අහුබුදුගෙ වගේ සිංහලෙනුයි කෂ්ටිය පොර ටෝක් දෙනව, ආගම, රාජ්‍ය තන්ත්‍රය, රොඩේසියානු ෆ්‍රැන්සිස්කුකරණය, මොන ___? මම දන්නවෑ ආයිබොවන් ඕවෑ අලයි ගෝවයි? මතක ඇති කාලෙක ආගමක් දහමක් නොතිබිච්චි තාඹුව මොකාටද මේ එන්ඩ හදන්නෙ? උගෙ තවත් එන්.ජී.ඕ ඩොලර් සීන් එකක් ද? එකත් එකටම ඌ පොලක්වත් නොකඩ නිකම් චාටර් කකා ඉන්නෙ එන්.ජී.ඕ සල්ලි හින්ද වෙන්ඩැ.. (හැබැයි ඌට තියෙන්නෙ නම් අර දෙවෙනි ලෝක යුද්ද කාලෙ තිබ්බ කාර් එකමයි.. කවුරු දන්නවද ඕව? හැබැයි උට ඩොලර් නෙමෙයි මලර් හම්බුනත් අපේ ආගමට එහෙම කෙළ කරනව නෙමෙයි හරි ය? )

          ඔහොම ඉන්ඩැද්දි තමයි පොරමොලාගෙ වෙඩින් එක ආවෙ.. එදා හිල්ටන් හෝටලේදි මායි අපේ ගැන්සියෙ බුවාල ටිකයි හිටියෙ තාඹු හිටපු මේසෙ මයි.. ඌත් ඉතින් දිව තිස් දෙකට මැදි වෙච්චි දත වගේ ඔල්මොරොන්දම් වෙලා හිටිය මොකද දෙයියනේ මේ වුණේ කියල.. මායි මගෙ සෙට් එකයි රටේ ලෝකෙ නැති ප්‍රශ්න අහල ඌව මැඩෙවුව අම්බානට.. 

අඩෝ තාඹු, මොනාද බන් මේ දවස් වල කරන්නෙ?

මුකුත් විශේෂයක් නෑ.. ගෙදරට වෙලා පොත් කියෝ කියෝ ඉන්නව

ඒක නෙමෙයි මොකක්ද බන් අර සෙකියුලර් ශ්‍රී ලංකා බම්බුවකට අපිව ඇඩ් කළේ? ඒකෙ උන්ගෙ පඩි ටෝක් මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ

උඹල බැලුවද ඒකෙ තියෙන දේවල්? මොන වගේ කතාවක් කියනව කියල ද හිතෙන්නෙ?

මන්ද බන්.. පේන්නෙ නම් ආගමක් දහමක් නැති හාල්පාරුවො ටිකක් අටෝගත්තු මගුලක් කියල.. අපේ ආගම විනාශ කරන්ඩ

නෑ යකෝ.. උඹලෑ ආගම විනාශ කළහම අපිට පාන් ද? ආගමක් අදහන නො අදහන දෙගොල්ලොම ඉන්නව.. ඒ අය එකතු වෙලා සෙකියුලර්වාදෙ ගැන කතා කරන්නෙ.. ලංකාවට ඒකෙන් තියෙන ප්‍රයෝජන ගැන.. කැමති ඕනෙ එකෙක්ව ඇඩ් කරගන්නව ගෲප් එකට

මොකක්ද බන් ඒ වාදෙ? අළුත්ම එන්ජීඕ ඩොලර් සීන් එක ද

නෑ යුවාන් සීන් එකක්.. උඹලට ඇත්තටම දැන ගන්ඩ ඕනෙ නම් කියන්නම්.. එන්ජීඕ කතාව ගිහින් අහගනිල්ල ජේ.ටී.එන් "හමගැසුම" විශේෂාංගය ලියන මිනිහගෙන්ම.. සෙකියුලර්වාදෙ හරි සරලයි තේරුම් ගන්නව නම්

කියහන් බලන්ඩ

ඒකෙ තියෙන්නෙ මූලික කතන්දර දෙකයි.. එකක් තමයි ඕනෙම කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්ඩ නිදහස තියෙන්ඩ ඕනෙ.. ඕනෙ නම් අදහන්නෙ නැතුව ඉන්ඩ උනත්.. අනික් එක තමයි ආණ්ඩුවයි ආගමයි අතරෙ සම්බන්ධෙ නැති වෙන්ඩ ඕනෙ



හරි, එතකොට දැන් උඹ කියන්නෙ ලංකාවෙ එහෙම නිදහසක් නෑ කියලද? අර ව්‍යවස්ථාව ද මොකක්ද එකේ කෙලින්ම දීල තියෙනවනෙ ඒ නිදහස?

ඔවු, ඇත්ත.. මහපොළවෙ නැති ගොඩක් දේවල් ලියවිලි වල තියෙනව තමයි.. උඹල හිතන්නෙ නිර්-ආගමිකයෙකුට ඇත්තටම ආඩම්බරෙන් ඉන්ඩ පුළුවන් තත්ත්වයක් තියෙනව කියලද? මිනිහෙක් ඉස්පිරිතාලෙට හරි පොලිසියට හරි ගියහම ආගම අහනව.. නිර්-ආගමිකයි කියල හරි වෙන තමන් වෙනස් කරගත්තු ආගමක් හරි ගැන කිව්වොත් දහසකුත් ප්‍රශ්න අහනව.. දිවුරුම් පෙත්සමක් හදද්දි හරි උසාවියෙ සාක්ෂි දෙද්දි හරි නිර්-ආගමිකයෙකුට තමුන්ගෙ නියම අනන්‍යතාවෙන් පෙනී ඉන්ඩ පුළුවන් ද? සංගණනයක් ගන්නකොට ග්‍රාමසේවක ඇවිත් අහන්නෙවත් නැතුව "සිංහල බෞද්ධ" කියල ලියා ගන්නව.. එක්කො අහල හරියට විස්තර ගන්ඩ ඕනෙ.. නැත්තම් ඒවගේ දේවල් අහන්නෙ නැතුව ඉන්ඩ ඕනෙ.. ඇමෙරිකාවෙ ජනගහනයෙන් 10%ක් නිර්-ආගමිකයි.. ලංකාවෙත් අඩුම තරමෙ 2%ක් නිර්-ආගමික වෙන්ඩ ඕනෙ සමාජෙ දිහා බැලුවොත්, ඒත් ඒ අය කවුන්ට් වෙන්නෙ නෑ..

හරි බන්, නිර්-ආගමිකයො ඉන්නෙ සුළුතරයක් නෙ.. 

ලංකාව අම්බානක් ප්‍රජාතන්ත්‍රවාදියිනෙ, ඕනෙ එකකදි ඇද ගන්නෙ ඔය බහුතර සුළුතර කතාව.. උඹ ඩොකෙක්, හරිද? ඩොකාල ඉන්නෙ ලංකාවෙන් 2500ට එකක් නෙ.. හිතහන් බහුතරය සෙට් වෙලා තීරණය කරනව ඩොකාලගෙන් පඩි නොදී බලෙන් වැඩ ගන්ඩ ඕනෙ කියල.. එතකොට?

පිස්සුද යකෝ.. සුළුතරය වුණාට කරන වැඩේට සරිලන වැටුපක් ගන්න එක අපේ අයිතියක්නෙ..

එතකොට තමුන් කැමති ආගමක් අභිමානෙන් යුතුව තමන් කැමති විදිහට අදහන එක? ඕනෙ නැති නම් නො-අදහා ඉන්න එක?                             


හරි.. ඒත් දැන් උඹ කියපුව නාමිකව වෙන දේවල් නෙ.. තමුන්ගෙ හිතේ ඇත්තටම තියෙන විශ්වාසෙ නැති කරන්ඩ කාටත් ඹෑනෙ.. අනික ඔය නිර්-ආගමික උන්ට ඕනෙ දෙයක් කියන්ඩ, පොත් ලියන්ඩ, රැස්වීම් තියන්ඩ නිදහසක් නැද්ද

තියෙනව පොත් වල.. සාරා මාලනී පෙරේරා දන්නවද? ඒ ගෑනු කෙනා තමන් බුද්ධාගම අත හැරල මුස්ලිම් ආගමට ගියෙ ඇයි කියල පොතක් ලිවුව.. බුද්ධාගමට අපහාස කළා කියල එයාව මාස දෙකක් රිමාන්ඩ් එකේ තියන් හිටිය.. ඉස්ලාම් ආගමට අපහාස කරා කියල "සැටනික් වර්සස්" කියන පොත තහනම් කළා.. ආගම් වල නමින් මිනිස්සුන්ගෙ නිදහස උල්ලංඝනය වෙද්දි කතා කරන්ඩ එපා ද

ළමයෙක්ව ඉස්කෝලෙට දාන්ඩ යන නිර්-ආගමික කෙනෙකුට වෙන දේ දන්නවද? ඇප්ලිකේෂන් එකේ නිර්-ආගමික කියල දාන්ඩ බෑ.. මොකක් හරි ආගමක් දාන්ඩ ඕනෙ, දෙමවුපියො කැමති වුණත් නැතත් ඒ දාපු ආගම ඉන් පස්සෙ ළමය ඉගෙන ගන්ඩ ඕනෙ.. සාමාන්‍ය පෙළට අනිවාර්යයෙන් ආගමක් තෝරගෙන කරන්ඩ ඕනෙ.. නිර් ආගමික පැත්තකින් තියන්ඩකො.. ඉතාමත් සුළුතර ආගම් වල අයට ඒ ආගම් ඒ ඉස්කෝලෙ උගන්නන්නෙ නැති නිසා වෙන ආගමක් ඉගෙන ගන්ඩ වෙනව.. තමුන්ගෙ දරුවන්ට තමුන් කැමති විදිහෙ ආගමික ඉගැන්වීමක් දෙන්ඩ හරි නොදෙන්ඩ හරි නිදහසක් තියෙන්ඩ එපා ද? සල්ලි තියෙන අයට නම් ලොකු අවුලක් නැහැ, ඉන්ටර්නැෂනල් ස්කූල්ස් තියෙනව

තමුන්ගෙ ළමයට ආගම උගන්නන්නෙ නැතුව ඉන්ඩ ඕනෙ කියන තීරණය ගන්ඩ කෙනෙක් නිර්-ආගමික වෙන්ඩම ඕනෙ ද? ඒක තමයි කියන්නෙ නිර්-ආගමික අයට විතරක් නෙමෙයි සෙකියුලර්වාදෙ වැදගත් වෙන්නෙ, ආගමික තීරණ තමුන් කැමති විදිහට ගන්ඩ හිතන හැම කෙනෙකුටම ඒක වැදගත් 

දැන් එතකොට උඹ කියන්නෙ ළමයින්ට ආගම උගන්නන එක නවත්තන්ඩ කියලද? එතකොට ළමයින්ගෙ සදාචාර වර්ධනයට මොකද වෙන්නෙ? ඒක පිරිහුණහම උඹයි උඹේ සෙකියුලර් සෙට් එකයි වගකියනවද?

මචන්, රෙටොරිකල් නොවී මේක තේරුම් ගනින්.. "සදාචාර වර්ධනයට ආගම අවශ්‍යයි" කියල කියන්නෙ විශ්වාසයක්.. ගොඩක් ආගම් අදහන අය එහෙම හිතනව.. අවශ්‍ය නෑ කියල කියන්නෙත් විශ්වාසයක්.. අපි වගේ නිර්-ආගමිකයො එහෙම හිතනව.. බහුතරය ආගමික නිසා "අවශ්‍යයි" කියන මතේ සමාජගත වෙලා තියෙන්නෙ.. ඒ වුණාට ඒක සාක්ෂි මත පදනම් වෙච්චි කතාවක් නෙමෙයි.. අවශ්‍ය නෑ කියන එක දිහා බලන්නෙ වපර විදිහට.. ඒක තමයි කියන්නෙ "අවශ්‍යයි" කියල කියන අයට තමුන්ගෙ ළමයින්ට ඒක දෙන්ඩ ෆුල් නිදහස තියෙන්ඩ ඕනෙ.. (ළමා අපචාර නොකරන තාක් කල් ).. ඒ වගේම අවශ්‍ය නෑ කියන අයට එහෙම නොදී ඉන්ඩත් නිදහස තියෙන්ඩ ඕනෙ.. ආගම උගන්නන එක තහනම් කරන්ඩ කියල අපි කොහෙවත් කියන්නෙ නෑ.. අපි කියන්නෙ කැමති දෙමවුපියන්ට විතරක් එහෙම කරන්ඩ ඉඩ දෙන්ඩ කියල, පුද්ගලික මට්ටමේ.. අකමැති අයට ආණ්ඩුව ලව්ව බලෙන් උග්ගන්නන්නෙ නැතුව..

අනික උඹ දන්නවද ඉස්කෝල වල එක එක ආගම වෙනම උගන්නන එක සමාජෙ ආගම් භේදයට ප්‍රධාන හේතුවක් කියල.. ඉස්කෝලෙ "ආගම" කියල විෂයක් උගන්නනව නම් උගන්නන්ඩ ඕනෙ පොදු විෂයක්, පොදුවේ ආගම් ගැන.. ඉතුරු ටික දෙමවුපියො බලා ගනියි..

හ්ම්ම්.. මොකක්ද බන් එතකොට අර ආණ්ඩුවයි ආගමයි අතරෙ සම්බන්ධෙ නැති වෙන්ඩ ඕනෙ කිව්වෙ? එහෙම සම්බන්ධයක් තියෙනවද

උඹල ඉන්නෙ මේ ලෝකෙද බන්? රටේ පාලකය පත් වෙච්චි හැටියෙ දුවන්නෙ ආගමික නායකයො ළගට.. එක ආගමකට ප්‍රමුඛත්වය දෙන්ඩයි, ඒක සුරක්ෂිත කරප පෝෂණය කරන්ඩයි ව්‍යවස්ථාවෙම තියෙනව වගන්තියක්.. ඒක තියෙන්නෙත් නමට විතරයි කියල දැන් කියන්ඩ එපා.. 2005 දි ආගම් වලට හැරවීම වැළැක්වීමේ පනත ගෙනාවෙ ඒ වගන්තිය මත පදනම්ව.. හොද වෙලාවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා ආගමික නිදහස පිළිබද වගන්තිය ඊට වඩා ප්‍රබල බව.. හැම ආගමිකයෙක්ගෙන්ම / අනාගමිකයන්ගෙන් පවා ගන්න බදු මුදල් එක ආගමකම පැවැත්මට රජය විසින් යොදවනවා.. ආගමික ස්ථාන වල විදුලි/ජල/දුරකථන බිල් නැහැ.. ඒව ගෙවන්නෙ ජහමනයගෙ සල්ලි වලින්.. ආණ්ඩුවෙ ප්‍රතිපත්ති සෑදීමෙදි ආගම යොදා ගන්ඩ කරන උත්සාහය දිනෙන් දින වැඩි වෙනවා.

ඉතින් බන්, රජවරු වැඩ කරන්ඩ ඕනෙ දශරාජ ධර්මය අනුවනෙ? ආගමෙන් නැත්තම් වෙන කොහෙන් ඒකට ගුරුහරුකම් ගන්ඩ ද?

පාලකය පුද්ගලිකව කොහෙන් ගුරුහරුකම් ගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ.. අපිට තියෙන ප්‍රශ්නෙ එක ආගමක ප්‍රතිපත්ති පොදු තීරණ වලට යොදා ගන්න එකයි.. උදාහරණයක් හැටියට පෝය දාට මස් විකුණන්ඩ බෑ.. එක ආගමක හැටියට පෝය දාට මස් කන එක නරක නම් ඒක පිළිගන්ඩ කැමති අය නොකා හිටියාවෙ.. අනික් අය කාපුවාවෙ.. දැන් කියන්ඩ පුළුවන් ඒ අය බහුතරය නේද කියල? ඉතින් මොකද? බහුතරය වෙච්චි පමණින් සුළුතරය බහුතරයට ඕනෙ විදිහට ඉන්ඩ ඕනෙද? ඒ වගේම මත්පැන් දුම්කොළ ආදිය පාලනයෙදිත් ක්‍රියාත්මක වෙන්ඩ ඕනෙ සියල්ලන් පොදුවෙ පිළිගත් සදාචාර හරයන් මිසක් එක ආගමක තියෙන දේ නෙමෙයි.. එක ආගමක තියෙන දේ එහෙම ක්‍රියාත්මක වෙනව නම් වෙන ආගමිකයෙකුගෙ ඇහෙන් ඒක දිහා බලන්ඩකො විනාඩියකට.. එතකොට තේරෙයි අසාධාරණය.. 

හරි, උඹ ඔය කියපු විදිහෙ සෙකියුලර් රටවල් මේ ලෝකෙ තියෙනවද? උඹල මහලොකුවට පිට උඩ යන බටහිර රටවල් ක්‍රිස්තියානි නේද? එන්ගලන්තෙ මහරැජින එන්ගලන්ත සභාවෙ කෙනෙක් වෙන්ඩ ඕනෙ, ඒ චාරිත්‍ර ඉටු කරන්ඩ ඕනෙ.. එන්ගලන්තෙ ජාතික ගීය "ගොඩ් සේව් ද ක්වීන්".. සාමි මණ්ඩලය තනිකරම එන්ගලන්ත සභාවෙ විදිහට වැඩ.. ඇමෙරිකාවෙ තමයි අන්තවාදීම ක්‍රිස්තියානින් ඉන්නෙ.. ඇමෙරිකාවෙ ජනාධිපති "ගොඩ් බ්ලෙස් යූ" කියන්ඩ ඕනෙ.. ඩොලර් නෝට්ටු වල "ඉන් ගොඩ්, වී බිලීව්" කියල තියෙනව.. ලංකාව විතරයි උඹලට සකියුලර් කරන්ඩ ඕනෙ.. මොන කරුමයක් ද

ඇත්ත.. ඒ රටවල් සෙකියුලර්, ලංකාව සෙකියුලර් නෑ කියල කියන්ඩ බෑ.. සෙකියුලර් රටවල් සෙකියුලර් නැති රටවල් කියල ජාතියක් නෑ.. සමහර රටවල් අනික් රටවලට වඩා සෙකියුලර්.. හැම රටකම වාගෙ සෙකියුලර්වාදින් ඉන්නව.. උන් කියන්නෙ ඒ ඒ රටවල් තියෙනවට වඩා සෙකියුලර් කරන්ඩ ඕනෙ කියල.. ඔය සෙකියුලර් රටවල් නැතැයි කියන ගුරුන්නාන්සෙල කරන එක වැඩක් තමයි ග්‍රවුන්ඩ් සිටුවේෂන් එක අමතක කරන එක.. එන්ගලන්තෙ ඔය සම්ප්‍රදායන් තිබ්බට සාමාන්‍ය මිනිහගෙ ආගමිකත්වය ලංකාවට වඩා ගොඩක් අඩුයි.. ආණ්ඩුවෙ ඕනෙම වැඩක් ආගමෙන් තොරව කරගන්ඩ පුළුවන්.. සාමි මණ්ඩල වල ආගමික සම්ප්‍රදාය තිබ්බට ආගමික වතාවත් කරන්ඩ ඕනෙ නෑ.. ඇමෙරිකාවෙ ජනාධිපති "ගොඩ් බ්ලෙස් යූ" කියන එක සම්ප්‍රදායක් මිසක් නීතියක් නෙමෙයි.. අකමැත්තෙන් තමන්ගෙ ළමයින්ට ආගම උගන්වන්ඩ ඒ කිසිම රටක සිදු වෙන්නෙ නෑ.. ආගම වෙනුවෙන් රජය කරන වියදම් ඉතා අඩුයි (ඇමෙරිකාවෙ නම් එහෙම කරන්ඩ තහනම් ).. එන්ගලන්තෙ ඇමෙරිකාවටත් වඩා සෙකියුලර් රටවල් තමයි කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය, ජපානය.. ලෝකෙ කිසිම රටක් සෙකියුලර් නැහැ කියන ගුරුන්නාන්සෙල කවදාවත් ඒ රටවල් දිහා බලන්නෙ නෑ.. කිසිම රටක් 100%ක් සෙකියුලර් නෑ.. ඒත් ඒ රටවල් සෙකියුලර් පැත්තට තමයි යන්නෙ.. ෆුල් ස්පීඩ් එකෙන් අනික් පැත්තට අපි යන ගමන් උන්ගෙ ඇද කුද හොය හොය "උනුත් සෙකියුලර් නෑ" කිහන එක මට නම් විහිළුවක්..

මචන්, එක පාරට සෙකියුලර් කළොත් රට අරාජක වෙනව නේද? රටට ගැලපෙන්නෙ නැති මළදානවල් ක්‍රියාත්මක කරන්ඩ ගිහින් ආයෙ යුද්ධ ඇති වුණොත් උඹල වග කියනවද?

එක ජාතියක් වෙන ජාතියකට අම්බානට නෙළද්දි හුරේ දාපු අයමත් ඔය ප්‍රශ්නෙ අහනව මම අහගෙන.. කමක් නැහැ කියමුකො.. කවුද එක පාරට වෙනස් කරන්ඩ කිවුවෙ? දැනට කෙරෙන්නෙ ජනතාව අතරට පණිවිඩය ගෙනියන්ඩ උත්සහ කරන එක විතරයි.. හිමින් හිමින් ජන මතය සෙකියුලර් එකක් උනාට පස්සෙ පුළුවන් නීති වෙනස් කරන්ඩ.. බලෙන් සෙකිය්ලර් කරන්ඩ පුළුවන් හරි එහෙම ඕනෙ හරි කියල මම කියන්නෙ නෑ.. එහෙම කරොත් ඔය කියන යුද්ද ඇති වෙන්ඩ පුළුවන්.. හැබැයි ආගමික අන්තවාදියො බලෙන් තමන්ගෙ මතේට මිනිස්සු නතු කරගෙන යුද්ද ඇති කරද්දි ඔහොම අහන අය නිහඪයි.. ඒවගේ දේවල් නැවැත්වීමෙන් නම් සමාජෙ සාමය ආරක්ෂා වෙන එකයි වෙන්නෙ.. සෙකියුලර් ක්‍රමය ලංකාවට අද වැඩිපුරම ගැලපෙන ක්‍රමේ නොවෙන්ඩ පුළුවන්.. ඒත් තියෙන ක්‍රම අතරින් සාධාරණම ක්‍රමේ හින්ද තමයි ටිකෙන් ටික හරි ඒක ගලප්පගන්ඩ ඕනෙ.. 

මචන්, අන්න කපල් එක එනව, ඔය ගෝරනාඩුව නවත්තපල්ල..

අඩෝ, වෙඩින් එකක හිටියෙ කියලවත් හාන්කවිස්සියක් නැතුව ගියා මේ බම්බුවෙ සෙකියුලර්වාදයක් හින්ද..

ඔන්න ඔහොමයි තාඹුව බයිට් කරන්ඩ ගිහින් බුවාල ටික අම්බානක් නාගත්තෙ.. තාඹුවත් නාගත්ත අපරාදෙ කියන්ඩ බෑ, කපල් එකට කුණු වතුර ගහද්දි..

*සැ.යු. "පොල්කැඩීම" යනු වෛද්‍ය වෘත්තිකයන් විසින් private practice සඳහා යොදන code name එකයි.
**සෙකියුලර් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පහත පරිදි පිවිසිය හැකි ය
ෆේස්බුක් : https://www.facebook.com/groups/sssl2010/
වෙබ් අඩවිය : http://www.secularsrilanka.com/

6 comments:

  1. එකඟයි!

    Google Readerයට දමා ගත්තෙමි. තව ලිවුම් සඳහා බලා සිටිමි.

    ReplyDelete
  2. ස්තුතියි.. තව තවත් ලියමි..

    ReplyDelete
  3. Nicely put.. Sinhala font eke kachal ekak nisa kadden kotami...
    This is the very lines along which I think about this matter. Glad to see this emerging among Sri Lankans... Keep it up... :)

    ReplyDelete
  4. thanks Damith.. It would be kept up.. no worries :)

    ReplyDelete
  5. Le me ,not good in dealing with sinhala unicodes
    Just a wow,for the way u have depicted the simplicity through the deep cores ..Keep it up

    ReplyDelete
  6. Buddhika ,
    Listen up carefully,
    War is a necessary component of human civilization.
    You should keep your dignity and you can't do BIG things, nature would destroy you otherwise. Sri Lanka is like this why it's the nature. Don't go to change the nature. Unless nature would change you. Don't misunderstood me as a acid throwing guy, but the dark master that I work for does not use ACID, he is more powerful than that.

    Oky on your language, Demon or God does exist only inside our minds. True , but they exists then ! So realize the fact that, Demons are also a part of nature as well as Gods.

    ReplyDelete